Connect with us

පුවත්

විදුලි බල පනත ගැන ජාතික ජන බලවේගය කතාකරයි

Published

on

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවක් අද (09) උදෑසන ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මේ සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජික විදුලි ඉංජිනේරු පුබුදු නිරෝෂන් සහ ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජික ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම වෙනුවෙන් එක්වූහ.

“විදුලි බලය ඉල්ලුම සැපයුම මත ලාභය තීරණය වෙන දෙයක් නොව ආර්ථිකයේ මර්මස්ථානයක්”
– ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති –

අපේ රටේ බලශක්ති පද්ධතිය පුළුල් වී නව ජනන අවශ්‍යතා, නව සම්ප්‍රේෂණ අවශ්‍යතා සහ නව බෙදාහැරීම් අවශ්‍යතා තුළින් විදුලි බල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව අපි කිසිසේත්ම බැහැර කරන්නේ නැහැ. රටේත් ජනතාවගේත් අනාගත පරපුරේ අයිතිවාසිකමක් ලෙස ආරක්ෂා කරමින් නව තාක්ෂණය සහ නව පාරිභෝගික අවශ්‍යතා සඳහා වැඩිදියුණු කරමින් ඉදිරියට යාම සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. තව මාස කිහිපයකින් අපේ රටේ ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගන්න ඕනෑ. දැන් පවතින්නේ ජනවරමක් නැති පාලනයක්. අද දවස වෙනකොට පැවති ගෝඨාභය රාජපක්ෂ පාලනය ජනතාව විසින් එළවා දමා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. මේ ඉන්නේ ඉන්පසු පත්කර ගත් ජනවරමක් නැති කැබිනට් මණ්ඩලයක් සහ ජනාධිපතිවරයෙක්. මතු පරම්පරාවට බලපාන විදුලි බල පනතක් බලහත්කාරයෙන් ගෙනත් සම්මත කර ගන්න ඒ කැබිනට් මණ්ඩලයේ විදුලි හා බලශක්ති ඇමතිවරයාට හැකියාවක් තිබෙනවාද?

විදුලි බල ඇමති කංචන විජේසේකර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව විදුලි බල පනතට සමස්ත විදුලි බල මණ්ඩලයේම සේවකයන් විරුද්ධ වුවත් සම්මත කර ගන්නා බව කියනවා. ලංකා ඉතිහාසයේ පළමුවරට විදුලිබලය සම්බන්ධයෙන් තොග වෙළඳපොළක් බවට පත්කිරීමේ මූලික උත්සාහය මේ පනතේ තිබෙනවා. විදුලි බලය කියන්නේ මිලදී ගෙන තබාගෙන සිටිමින් පරිහරණය කළ හැකි දෙයක් නොවෙයි. ඒ වගේම විදුලි බලය සම්බන්ධයෙන් ලාභය හෝ පාඩුව තීරණය වෙන්නේ පාවිච්චි කරන මොහොතේ පමණක් නොවෙයි. විදුලි බලය රෝහලකදී, හමුදාවේදී, පොලීසියේදී, කර්මාන්ත ශාලාවේදී, විද්‍යාගාරයේ වැනි ස්ථානවල පාවිච්චි වීම අනුව ලාභ ලැබිය යුතු ක්ෂේත්‍රයක් නොවෙයි. ජනතාව පරිහරණය කරන අවස්ථාව අනුව ජාතික ලාභයකට එකතු වෙනවා. මෙවැනි අත්‍යවශ්‍ය සේවාවක ලාභය කියන්නේ ඉල්ලුම සැපයුම මත තීරණය වෙන දෙයක් නොවෙයි, ආර්ථිකයේ මර්මස්ථානයක්.

විදුලි බල මණ්ඩලය ඍජුවම මහජන උපයෝගීතා කොමිසමට ගැටගැසී තිබෙනවා. විදුලි බලයේ මිල තීරණය කිරීම සඳහා වාසිය හෝ අවාසිය සම්බන්ධයෙන් මහජනතාවගේ පැත්තේ සිට බලන්නේ මහජන උපයෝගීතා කොමිසමෙන්. නමුත් නීතියෙන් ස්ථාපිත මේ ආයතනයේ නිර්දේශ පවා නොතකා හරිමින් යන යකා කොරහත් බිඳගෙන යන ආකාරයට මේ පනත හදිසියේ ගෙනැවිත් තිබෙනවා. මේ රටේ මහජනතාව හෝ වෘත්තිය සමිති හෝ විදුලි බල තොග වෙළඳපොළක් ඉල්ලා කිසිම තැනක උද්ඝෝෂණය කර නැහැ. කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීම, සාධාරණ මිලකට ලබාදීම සම්බන්ධයෙන් පමණයි ඉල්ලීම් කළේ. ජනාධිපතිවරණයක් ඉදිරියේ තබාගෙන මේ පනත සම්මත කර ගත යුතු බව අපි විශ්වාස කරන්නේ නැහැ. විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීමේ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පුළුල් ලෙස ජනතාවගේ පැත්තේ සිට කල්පනා කරමින් සිදුකළ යුතුයි. අර්බුදයන්ට විසඳුම් සෙවීමේ ගවේෂණයක් විය යුතුයි. නමුත් දැන් කරන්නේ යන්නේ තුට්ටු දෙකට විදුලි බල මණ්ඩලය විකිණීම සඳහා කටයුතු කිරීමයි.

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලයේ සිටි 2002දී දේශීය ආදායම් බදු, රේගු, සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්කර අධිකාරියක් බවට පත්කරන්න පනතක් සම්මත කර ගන්න උත්සාහ කළා. ඒ වගේම ඛනිජ තෙල්, විදුලි බලය විකිණීම සඳහාත් උත්සාහ කළා. 2003දී විදුලි බල මණ්ඩලය කෑලි අටකට කඩා විකුණා දමන්න පනතක් ගෙනාවා. මහජන උද්ඝෝෂණ, වෘත්තිය සමිති විරෝධය සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ අපි නැගූ හඬ නිසා, ඒ උත්සාහයන් හකුළා ගන්න සිදුවුණා. දැන් ගෙනැවිත් තිබෙන විදුලි බල මණ්ඩල පනත පරාජය කිරීම  සඳහා මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පවත්වනවා.  

බලශක්ති ක්ෂේත්‍රය කියන්නේ ජාතික ආරක්ෂාවත් සමග ගැට ගැසී තිබෙන ක්‍රියාවලියක්. ඒ වෙනුවෙන් ලැබෙන ආයෝජන ඇමතිවරයාගේ සාක්කුව හරහා එනවා නම්, ඒ ප්‍රතිලාභ වැඩිපුර ලැබෙන්නෙත් ඇමතිවරයාට පමණයි. ඒ නිසා රටේ ස්වෛරීත්වයත් විදුලි බල ක්ෂේත්‍රයත් සම්බන්ධයෙන් බලපාන මේ පනත පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් සම්මත කර නොගන්නා ලෙස අපි අවධාරණය කරනවා. දැනටමත් ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ විද්වතුන් අධිකරණයට ගොස් සිටිනවා. තවත් විවිධ පාර්ශ්ව අධිකරණයට ගොස් තිබෙනවා. අවසාන වශයෙන් සියලු තීරණ ගන්නේ ජනතාවයි. ජන මතයෙන් හෝ ජන බලයෙන් මෙවැනි විනාශකාරී පනත් පරාජය කිරීමට එකතු වෙන ලෙස ඉල්ලා සිටිනවා.

“විදුලිය සම්බන්ධ පෞද්ගලික ඒකාධිකාරයක් බලාත්මක කිරීමේ හැකියාව ඇමතිවරයාට ලැබීම භයානකයි”
– ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජික විදුලි ඉංජිනේරු පුබුදු නිරෝෂණ –

මූලික කරුණු දෙකක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ පනතක් ගේනකොට එයින් සිදුවෙන්නේ මොකක්ද යන්න සම්බන්ධයෙන් සමාජ දේශපාලනික අවබෝධයක් අපි ලබාගන්න ඕනෑ. 2022 ජූලි මාසයේ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරන්න පත්කළ පාර්ලිමේන්තු කමිටුව 2022 ඔක්තෝබර් මාසයේ නිර්දේශ ඉදිරිපත් කළා. ඒ කමිටුවේ සාමාජිකයන් 10දෙනෙක් ක්‍රියා කළත් වෘත්තිය සමිති සහ පාරිභෝගිකයන් ඇතුළු සිවිල් සංවිධාන තවත් යෝජනා ඉදිරිපත් කළා. අදාළ කමිටුව විසින් එයට ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ලක්කර තිබුණා. 2023 අප්‍රේල් මාසය වන විට කමිටුවෙන් එළියට පැමිණ සිටි සාමාජිකයන් ප්‍රකාශ කළේ 2022 ඔක්තෝබර් වන විට ඔවුන් ඉදිරිපත් කළ නිර්දේශ පවා මේ පනතෙන් සැලකිල්ලට ලක්කර නැති බවයි. ඇමතිවරයා හෝ පනත කෙටුම්පත් කළ පිරිස හෝ එම කමිටුවේ නිර්දේශ පවා නොසලකා කටයුතු කරමින් විදුලි බල මණ්ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදී සිටින බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපි ඇමතිවරයාගෙන් අහන්නේ ඔබලාම පත්කළ කමිටුවේ නිර්දේශ පවා කිසිදු සැලකිල්ලකට ලක් නොකළේ ඇයි කියලයි. උදාහරණයක් හැටියට මෙයින් යෝජනා කර තිබෙන “නැෂනල් සිස්ටම් ඔපරේටර්” කියන තනතුර ස්වාධීන විය යුතු බව කමිටුවේ නිර්දේශ අනුව දැක්වූවත් ඉදිරිපත් කර තිබෙන කෙටුම්පතේ එම තනතුර ඇමතිවරයාට යටත් කොට තිබෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය 2022 සැප්තැම්බර් මාසයේ මේ ජාතික වැදගත්කමක් තිබෙන කෙටුම්පත සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබුණා. ඒ වගේම ජාතික ජන බලවේගයට අයත් ජාතික විද්වත් සංවිධානයේ ඉංජිනේරු කමිටුවෙන් 2023 සැප්තැම්බර් මාසයේදී අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවන් ඉල්ලුවා. නමුත් ඒකපාර්ශ්වීයව තෝරාගත් පිරිසකට විතරක් මේ අවස්ථාව ලබාදී තිබුණා. 2022 සැප්තැම්බර්, නොවැම්බර්, 2023 ජනවාරි, මාසවලදී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අදහස් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළා. ඊට අමතරව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිිනේරුවන්ගේ සංගමය විසින් ලිඛිතව දීර්ඝ අදහස් දැක්වීමක් කළා. 2024 අප්‍රේල් දක්වා අපි මේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන්න උත්සාහ කළා. දේශපාලනයට සම්බන්ධ නොවෙන ඉංජිනේරු ආයතනයක් වන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සංසදය අදහස් දක්වන්න කර තිබූ ඉල්ලීමත් ඉවත දැමුණා.

මේ පනතට සමස්තයක් ලෙස විරුද්ධ විය යුත්තේ ඇයි කියලා මම කරුණු ඉදිරිපත් කරන්නම්. ඕනෑම බලශක්ති ක්ෂේත්‍රයක ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම රජයටත් පෞද්ගලික අංශයටත් ලෝකයේ අනෙකුත් රටවල තිබෙන්න පුළුවන්. මේ ක්‍රියාවලිය තුළින් අත්‍යවශ්‍ය සේවාවක් සපයන අතර, ඒ වෙනුවෙන් වැය කරන මුදල සාධාරණ මිල මඟින් පියවා ගත යුතු වෙනවා. මේ පනතෙන් යෝජනා කර තිබෙන්නේ විදුලිය සම්බන්ධයෙන් තොග වෙළඳපොළට යන්න. පිටු 150ක් පමණ වන මේ කෙටුම්පතේ වගන්තිවලින් අපේ විදුලි බල සැපයුම පරිණත වීමට අදාළ කාලය වසර 5ක් හෝ 10ක් දක්වා ලබාදීමට යෝජනා කර තිබෙනවා. මේ කාලය තුළ තොග වෙළඳපොළ පිහිටුවීමට නොහැකි වුවහොත් නිරායාසයෙන්ම පෞද්ගලික ඒකාධිකාරයකට යාමේ හැකියාව ලබාදී තිබෙනවා. 1996ට පෙර රජය සතුව තිබූ ඒකාධිකාරය පෞද්ගලික අංශයට ගොඩනැගීමේ අවධානම තිබෙනවා. විදුලිය සම්බන්ධ පෞද්ගලික ඒකාධිකාරය බලාත්මක කරන්න ඇමතිවරයාගේ තනි මතයට අනුව ක්‍රියාකිරීමේ හැකියාව මේ මගින් ලැබෙනවා.

මන්නාරමේ සුළං විදුලි බලාගාර සම්බන්ධයෙන් සාකච්ඡාව නැවත අලුත්කර තිබෙනවා. දැනටත් 100%ක්ම විදුලි බල මණ්ඩලයට අයිති මෙගාවොට් 100ක විදුලි බලාගාරයක් තිබෙනවා. මෙම පනත හරහා ඒ බලාගාරය පවා 100%ක්ම පෞද්ගලීකරණයට ලක්වෙනවා. විදුලි බල මණ්ඩලයට ඉතිරි වන්නේ ජල විදුලි බලාගාර ටික පමණයි. පෞද්ගලික අංශයට පැවරූ පසු මිල තීරණය කිරීමේ බලය පවා ලැබෙන්නේ ඇමතිවරයාටයි. අපි මෙහිදී විරුද්ධ වන්නේ, පුද්ගලික ආයෝජන සඳහා නොව පෞද්ගලික ඒකාධිකාරයකට පත්කිරීම සම්බන්ධයෙනුයි. ආයෝජන ලැබෙනවා කියන්නේ පවතින දේවල් විකිණීම නොවෙයි. ජනතාව, කර්මාන්තකරුවන්, සංවේදීව මේ කරුණු ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. නව විදුලි ජනනය සඳහා පෞද්ගලික ආයෝජන අත්‍යවශ්‍යයි. ඒ ආයෝජන ලැබිය යුත්තේ තරගකාරීවයි. ඇමතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයේ කිහිපදෙනෙකුට අවශ්‍ය ආකාරයට නොදිය යුතුයි. දැනට ඉන්දියාවේ පෞද්ගලික සමාගම් ඩොලර් 0.35ට නිෂ්පාදනය කරන සුළං විදුලි බල ඒකකයක් අපේ රටේදී ඩොලර් 0.85කට නිෂ්පාදනය කරන්න යනවා. තරගකාරී ටෙන්ඩර් මගින් දුන්නානම්, අවම වශයෙන් ඩොලර් 0.5කට ගත හැකි වෙනවා. මේ ආකාරයේ ඉහළ මිලකට අවුරුදු 30ක් ගත වන තුරු ලබාදීමට සූදානම් වෙනවා. මේ මාස පහෙන් ආණ්ඩුව පෙරළෙන්න කලින් මේ ආකාරයෙන් ජනතාවගෙන් පළිගන්නයි සූදානම් වෙන්නේ. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණනින් මෙය සම්මත කර ගන්න උත්සාහ කළත්, එය ක්‍රියාත්මක වීමේදී අපි පරාජය කරන බව අවධාරණය කරනවා.

“ජනතාව තමන්ගේ බලශක්ති අයිතිය තහවුරු කර ගැනීම සඳහා පෙළගැසිය යුතුයි”
– ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජික ආචාර්ය මයුර නෙත්ති කුමාර –

අපි මෙතනදි අවධාරණය කළේ අතයට ගනුදෙනු සහ මේ දූෂිත ක්‍රමවේදය වැරදි බවයි. සාධාරණ බලශක්ති වෙළඳපොළක් වෙනුවට රේඛීය ඇමතිවරයාගේ අණසක පතුරුවන වෙළඳපොළකට ඔබ කැමතියිද කියලා අපි සියලු දෙනාගෙන් අහනවා. මේ වෙළඳපොළ තුළ පෞද්ගලික ආයෝජකයන්ට සහ රජයට සිදු කළ හැකි කාර්යභාරයන් වෙන වෙනම පවතිනවා. පුද්ගලික ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් බැලුවොත් “අපි හම්බ කළොත් අපි කනවා” යනුවෙන් තිබූ සංකල්පය ප්‍රායෝගිකව ඇත්තක් නොවෙන බව පසුගිය කාලයේ තහවුරු වුණා. රටේ දූෂණයෙන් තොර ප්‍රතිපත්ති තිබෙනවා නම්, රටේ සන්නාමය හොඳ නම්, ලෝකය පිළිගත් තරගකාරී ආයෝජකයන් එනවා.

තමන් විද්වතුන් යැයි කියා ගන්නා ඇතැමුන් ජාතික ජන බලවේගය අයෝජනවලට විරුද්ධ බවට කතා කියනවා. ඒ අයට අපි කියන්නේ ආයෝජන යනුවෙන් ඔවුන් හඳුන්වන දේවල්වලින් ජනතාවට, රටට, මේ රටේ ව්‍යාපාරිකයන්ට ප්‍රතිඵලයක් සිදු නොවෙනවා නම්, ඒවාගෙන් ඇති ඵලය කුමක්ද? මේවාට කියන්නේ ආයෝජන නොවෙයි. විකුණාගෙන කෑම හෝ අතින් කා හරක් බලනවා කියන්නේ මේකටයි. රටට ආයෝනයක් එනවා නම්, එහි ප්‍රතිලාභ ජනතාවට තිබෙන්න ඕනෑ. මේ විදුලි බල පනත් කෙටුම්පත මගින් එවැන්නක් සිදුවන්නේ නැහැ. කිහිප දෙනෙකුට තමන්ගේ මඩිය තරකර ගත හැකි ක්‍රමවේදයක් මෙයින් සකස් කර තිබෙනවා. මේ විදුලි බල පනත වගේම “සොක්කං ලොක්කං වූ හැටි” කියන පොතත් කියවා බලන ලෙස මම විවෘතව ආරාධනා කරනවා. අවුරුදු සියයක පමණ කාලයක සිට යම්කිසි පිරිසක් විසින් ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ ඔවුන් වෙත ලබාගත් ආකාරයෙන් පැහැදිලි ඔබට වේවි. අපි විරුද්ධ වන්නේ ඒ ක්‍රියාවලියටයි. මේ පනතෙන් බලාපොරොත්තු වෙන්නේ ඉතාම අතළොස්සක් පිරිසකට ප්‍රතිලාභ ලබාගැනීමට ඉඩ සලසා ගැනීමයි.

විදුලි බල ක්ෂේත්‍රය වර්ධනය කර ගැනීමට ආයෝජන ගෙන ආ යුතු නම්, කළ යුත්තේ දැනට තිබෙන දේ විකුණා දැමීම නොවෙයි. නව වර්ධනයන් වෙනුවෙන් ආයෝජන කැඳවීමයි. ඡන්දයක් අත ළඟ තබාගෙන ඔවුන්ගේ හිතවතුන් කිහිපදෙනෙකු වෙනුවෙන් ගෙන එන මෙම පනත පිළිබඳ ජාතික ජන බලවේගය පමණක් නොවෙයි සමස්ත ජනතාවම අවධානය යොමු කරන්න ඕනෑ. බලශක්තිය සම්බන්ධයෙන් ජනතාවට තිබෙන අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් ජනතාව ඉදිරියට පැමිණිය යුතුයි. මෙය පක්ෂයක වැඩක් ලෙස නොසැලකිය යුතුයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

ප්‍රශ්නය:
ඔබලා පැහැදිලි කරන ආකාරයට මේ පනත එතරම් භයානක නම්, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මැදිහත් විය නොහැකිද? ඒ වගේම අධිකරණය ඉදිරියට ගොස් තිබෙනවා නම් මෙය සම්මත කිරීමේ හැකියාවක් තිබෙනවාද?

පිළිතුර:
ජනාධිපති නොදැනුවත්ව, ඔහුගේ ආශිර්වාදයක් නැතිව කංචන විජේසේකර ඇමතිවරයා මෙවැනි පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයේදී සම්මත කර ගන්නත් බැහැ. මෙවැනි කැබිනට් යෝජනාවකට ජනාධිපති අකමැති නම්, ඉවත දමනවා. ඒ වගේම මෙය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්න පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සමගි ජන බලවේගයේ සමහර මන්ත්‍රීවරුත් මෙයට පක්ෂව අදහස් පළ කර තිබුණා. අපි මේ කියන්නේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධව නොවෙයි. ජාතික අවශ්‍යතාවයක් පෙන්වූවත් මේවා පිටුපස සල්ලි කැරකීම සම්බන්ධවයි. අධිකරණයේදී දෙන තීන්දුව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට බලපානවා. අධිකරණයෙන් දෙන කොන්දේසිවලට පවා වංගු ගසමින් සම්මත කර ගත් ආකාරය අපි පසුගිය කාලයේ දැක්කා. එහෙම සැකයක් තිබියදී පවා මේ වෙනුවෙන් යා හැකි සියලු තැන්වලටම අපි යනවා. මෙය අවසාන වශයෙන් පවතින්නේ ජනතාවගේ විනිශ්චය හමුවේයි.

පුවත්

මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹේ

Published

on

By

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට හිතකාමී පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි.

කොරල්පර පරිසර පද්ධති වලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන්-ඔෆ්-තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. 

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කළේය. 

පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, ශ්‍රී  ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටා ඇති “විශාල” සහ “කුඩා” පරෙවි දූපත” යන දූපත් දෙකකින් සමන්විත වේ.

සමුද්‍ර උද්‍යානය ආසන්න වශයෙන් හෙක්ටෙයාර 471ක් පුරා පැතිරී ඇති නමුත් ගොඩබිම හෙක්ටෙයාර 9ක් පමණ වේ. විශාල දූපතේ කොරල්පරයක් දළ වශයෙන් මීටර් 200ත් 100ත් අතර උසකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 44.8ක් දක්වා උසකින් යුක්ත වේ. මෙම දූපත ශ්‍රී  ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් සහ පාරිසරික වශයෙන් සංවේදී සමුද්‍ර  උද්‍යානවලින් එකක් වන බැවින්, එය පිරිසිදු කිරීම කාලෝචිත මෙන්ම සුවිශේෂී වැදගත්කමක් සහිත කාර්යයක්  වේ.

මෙම පරිසර පද්ධතියට ඇති ප්‍රධාන අභියෝග ලෙස නීතිවිරෝධී පිළිවෙත් මඟින් මසුන් ඇල්ලීම, හානිදායක ලෙස කොරල් අස්වැන්න නෙළීමේ ශිල්පීය ක්‍රම, සංචාරක ව්‍යාපාරය නිසා ඇති වන කොරල් පරිහානිය ආදිය හදුනා ගත හැකිය. එසේම, දේශගුණික විපර්යාස හා  මුහුදු උෂ්ණත්වය ඉහළ යාම මතද පරෙවි දූපත අවට කොරල්පරවලට හානි සිදු වේ.

ඒ අනුව, පරෙවි දූපත සංරක්ෂණය කිරීමේ මුලපිරීමක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ත්‍රිකුණාමලයේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිලාවේලි බෝට්ටු සංගමය සහ සර්වෝදය යන ආයතනවලද  ක්‍රියාකාරී සහයෝගය මේ සඳහා ලැබිණි.

මෙම පිරිසිදු කිරීමේ කාර්යය, පාරිසරික සහ ආරක්ෂක ප්‍රමිති අනුගමනය කරමින්, පුහුණුව ලත් කිමිදුම්කරුවන්, සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ අනෙකුත් සංවිධානවල ස්වේච්ඡා සේවකයින්ගේ එකමුතුවෙන් සිදු කෙරිණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩබ්. ජී. එම්. හේමන්ත කුමාර යන මහත්වරු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු, ප්‍රදේශවාසීහු සහ විදේශ සංචාරකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

Starlink සේවා මෙරට ඇරඹීමට සියලු වැඩ සම්පූර්ණයි – එරංග

Published

on

By

ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්ටාර්ලින්ක් වෙතින් ලබා දීමට නියමිත තොරතුරු පුවරුව (Dashboard)ලැබුණු පසු මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ පැවැති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ ද්විපාර්ශ්වික හමුවකට එක් වෙමිනි.

මෙම හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.

මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමග ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්ථනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම, පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධවද අවධානය යොමුව ඇත.

එහිදී මෙම අවස්ථාවට එක් වෙමින් ස්ටෙෆාන් ලැන්ග් මහතා පවසා ඇත්තේ මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදි ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවය.

(අරුණ)

Continue Reading

පුවත්

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට තවත් 2ක් අත්ඩංගුවට

Published

on

By

තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් බව පොලිසිය පවසයි.

ඔවුන් කඩවත සහ ගණේමුල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී T-56 වර්ගයේ ජීව පතොරොම් 13ක් පුරවන ලද පතොරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් හෙට (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved