නුවරඑළිය යහපත් එඬේරාගේ බාලිකා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් 12 දෙනකුට පහරදීමේ සිදුවීම සම්බන්ධව චෝදනාව එල්ල වූ විදුහල්පති නිලංකා ද සිල්වා කන්‍යා සොයුරිය ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මහත්මිය නියෝග කළාය.
මීළඟ නඩු දිනයේදී දරුවන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධව වැඩිදුර විමර්ශන වාර්තාව සහ කන්‍යා සොයුරියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට ද බලධාරීන් වෙත නියෝග කරනු ලැබීය.
එම පහරදීමේ සිදුවීම සම්බන්ධ චෝදනාව එල්ල වූ විදුහල්පති කන්‍යා සොයුරිය ඊයේ (15) උදෑසන සහෝදර කන්‍යා සොහොයුරියන් පියතුමන්ලා ඇතුළු ගුරුවරුන් පිරිසක් සමඟ නුවරඑළිය පොලිසියට ඉදිරිපත් වී තිබිණි.
එලෙස ඇය ඉදිරිපත් වී ඇත්තේ පහර කෑමට ලක්වූ එක් සිසුවියක් දින හතරක් පුරාවට රෝහල්ගතව ප්‍රතිකාර ලබනමින් සිටියදීය.
පොලිසිය විසින් අධිකරණය වෙත අදාළ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු විදුහල්පතිවරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත්වරිය මීට පෙර නියෝග කර තිබිණි.
විදුහල්පතිවරිය නුවරඑළිය පොලිසියට ඊයේ (15) ඉදිරිපත් වීමෙන් අනතුරුව කරුණු සටහන් කරගැනීමෙන් පසුව පොලිස් රථයකින් දැඩි ආරක්ෂාවක් සමඟ ඇයව අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.