තීරු බදු නොගෙවා මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් ඇතුළු භාණ්ඩ තොගයක් ගුවන්තොටුපලේදී පොලිස් භාරයට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව ගුවන් මගීන් පැමිණීමේ පර්යන්තයේදී මෙම වැටලීම සිදු කර තිබුණි.
මෙම වැටලීමේදී සැකකරුවන් 05 දෙනෙකු හා සැකකාරියක සමඟ ඔවුන් සතුව තිබූ තීරුබදු නොගෙවා මෙරටට රැගෙන එන ලද විවිධ වර්ගයේ විදේශ මත්පැන් බෝතල් 159 ක් , විදේශීය දුම්වැටි පැකට් 175ක්, නිමි ඇඳුම් හා රත්රං නොවන පළඳනා තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.
මෙම සැකකරුවන් පිරිස වත්තල, කොටගල සහ කොළඹ 13 වන ප්රදේශවල පදිංචිකරුවන් වන අතර එක් අයෙකු ඉන්දීය ජාතිකයෙකු වන බව පොලීසිය පවසයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ඒකකය මඟින් මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.