බලපත්‍රයක් නොමැතිව වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් යුද හමුදාපතිවරයා ඇතුළු යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් පුවත් පළ කළැයි අත්අඩංගුවට ගත් රාවණ ලංකා නිවුස් වෙබ් අඩවියේ කර්තෘ – ජී.පී.නිස්සංක මහතාව ලබන 20දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06 වැනිදා) නියෝග කර තිබේ.
සැකකරු විසින් අපහාසාත්මක පුවත පළකිරීම තුළින් මහජනතාව යුද හමුදාව පිළිබඳ දරණ මතය පහළ දැමීමට උත්සාහ කර ඇතැයිද, එමගින් රටේ භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් එල්ල කර ඇතැයිද අධිකරණයට දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරුට එරෙහිව තවදුරටත් විමර්ශන සිදුකරන හෙයින් ඔහු රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටියේය.
මෙම සිද්ධියට අදාළව පවත්වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියම කළේය.
(පෙර පුවත: 2024 මාර්තු 06, පෙ.ව.7:10)
වෙබ් කර්තෘවරයෙක් CID අත්අඩංගුවට!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රාවන ලංකා නිවුස් වෙබ් අඩවියේ කර්තෘ ජී.පී.නිස්සංක මහතාව ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගත් කොළඹ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් පවසා ඇත්තේ හමුදාපතිවරයාව විවේචනය කරමින් ලියන ලද මාධ්‍ය වාර්තාවක් හේතුවෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවීම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව බවයි.
ඔහුව ඊයේ (05) රාත්‍රියේ මග යාය, අම්බැවිල, පල්ලෙබද්ද (ගොඩකවෙල) ඔහුගේ නිවසේදී රාත්‍රී 10.45ට පමණ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අද අධිකරණයට ඉදිරිපත් කරන බවද එහි පැමිණි නිලධාරීන් නිස්සංක මහතාගේ 71 හැවිරිදි පියාට හා 16 හැවිරිදි පුත්‍රයාට දන්වා තිබේ.