Connect with us

පුවත්

ශානි ට පොලිස් ආරක්ෂාව

Published

on

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද (05) කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා එම දැනුම්දීම සිදුකළේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ, පෙත්සම්කාර ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබාදීමට කටයුතු කරන බවය.

ඊට අමතරව නිවසේ ආරක්ෂාව සඳහා එක් නිලධාරියෙකු ලබාදීමට කටයුතු කරන බවත් ඔහු දන්වා සිටියේය.

එමෙන්ම සිය පදිංචි ස්ථානය වෙනස් කිරීමට පෙත්සම්කාර ශානි අබේසේකර මහතා කැමැත්ත දක්වන්නේ නම් ඒ සඳහා වෙනස් ස්ථානයක් ලබා දීමටත් සූදානම් බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

මෙහිදී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම දැනුම්දීම සම්බන්ධයෙන් තම සේවාදායකයා සෑහීමට පත්වන බව දන්වා සිටියේය.

කෙසේ වෙතත් එම ප්‍රතිඥාව ඉටු නොවන්නේ නම් වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ යටතේ කටයුතු කිරීමට පියවර ගන්නා බවද ජනාධිපති නීතිඥවරයා දන්වා සිටියේය.

අනතුරුව අදාළ පෙත්සම දෙසැම්බර් මස 15 වනදා කැඳවන බවට නියෝග කෙරුණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කාර ශානි අබේසේකර මහතා කියා සිටින්නේ, තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස තමන් විසින් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත ඉල්ලීමක් කළ බවය.

එම අධිකාරිය විසින් ඒ පිළිබඳව පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණත් තමන්ට විධිමත් ආරක්ෂාවක් මේ දක්වා ලැබී නොමැති බව ශානි අබේසේකර මහතා කියා සිටියේය.

එබැවින් තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

(අද දෙරණ)

පුවත්

ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (5) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

තවද ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ත් අතර තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට යාමේදී ගාලුමුවදොර උණුසුම් තත්ත්වයක්

Published

on

By

කොළඹ, ගාලුමුවදොර පිහිටි අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට ඊයේ (04) පස්වරුවේ වරාය කළමනාකරණ උපදේශ සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඒ සෞඛ්‍ය ආරක්ෂිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවසර ඇතිව වෙළෙඳ කටයුතු කිරීම අරමුණු කරගෙන ගාලු මුවදොර වෙළෙඳුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමගිනි.

කෙසේ වෙතත් එම ප්‍රදේශයේ කලක පටන් වෙළෙඳාමේ නිරතවන පිරිස් එම තීරණයට විරෝධය පළ කෙරුණි.

එම ස්ථානය සඳහා වරාය කළමනාකරණ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අද පස්වරුවේ පැමිණියේ පොලිස් නිලධාරීන් ද සමඟිනි.

මෙහිදී වෙළෙඳුන් පැවසුවේ කාලයක පටන් මෙම ස්ථානයේ වෙළෙඳාම් සිදුකරනු නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහතික ලබා ගැනීමට අවශ්‍ය බව පවසා තමන්ව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට සැරසෙන බවය.

කෙසේ වෙතත් ඇතිවූ තත්ත්වය මත වරාය කළමනාකරණ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් වෙළෙඳුන් වෙත දන්වා සිටියේ එළැඹෙන ඉරිදා දක්වා වෙළෙඳාම් කිරීමට අදාළ වෙළෙඳුන්ට අවසර දෙන බවයි.

Continue Reading

පුවත්

හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්ගේ සමීපතමයෝ 3ක් අත්අඩංගුවට

Published

on

By

බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවලට මායිම් වූ හල්දුම්මුල්ල බෝගහපැලැස්ස රක්ෂිතයේ විශාල ඉඩම් ප්‍රමාණයක් දේශපාලන බලය යොදාගනිමින් අනවසරයෙන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශනයකට අනුව හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ සමීපතමයන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දේශපාලන බලය යොදා අල්ලා ගන්නා ලද මේ ඉඩම් භුක්ති විඳීම සිදු වූ අතර, ඊට හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකු සම්බන්ධ බවට තොරතුරු හෙළිව තිබිණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන ගිය පරීක්ෂණ මත එහි ප්‍රධාන සැකකරුවන් ලෙස මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවකද සිටින අතර, එක් අයකු අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වේ.

(සිළුමිණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved