නකල්ස් පරිසර සංවේදී කලාපයේ හෝටලයක් තුළ ඇතිවූ ආරවුලකදී පරිසරවේදියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු ධුර අපේක්ෂක නීතිඥ චම්පික විජේරත්න අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ලග්ගල පොලිසිය පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල ආසන සංවිධායකවරයාගේ හිතවතුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඊට අමතරව ඔහුගේ සහෝදරයෙකුද අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පත්මරාජ සඳහන් කළේය.
බදු පදනමක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් එහි සේවය කරනු ලැබූ නකල්ස් සංචාරක කවයේ ලේකම් නදීර වීරසිංහට චම්පික විජේරත්න ඇතුළු පිරිස පහර දුන් බව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙන බවත් මේ වන විට පහර කෑමට ලක් වූ පුද්ගලයා ලග්ගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය කියයි.
මෙය දේශපාලන පැමිණිල්ලක් නොවන බවත් පෞද්ගලිකව හෝටල් ගනුදෙනු සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ පැමිණිල්ලක් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
(අරුණ)