ගාල්ල ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ හිඟ වීමෙන් තමන් දැඩි පීඩාවට පත්වී ඇතැයි රෝගීහු පවසති.
ඔවුන් පවසන්නේ වකුගඩු රෝගීන්ට රුධිර වර්ධනය සඳහා ලබාදෙන Erythropoietin 4000iu එන්නත මේ වන විට රෝහලේ නොමැති බවත් ඒවා ලැබෙන දිනයක් පිළිබඳව ද තමන් නොදන්නා බවය.
එබැවින් මෙම එන්නත පිටත ෆාමසිවලින් රුපියල් 4000ත් 5000ත් අතර මිලකට මිලදී ගැනීමට සිදුව ඇති බව ඔවුහු පවසති. ඔවුන් පවසන්නේ බහුතර පිරිසකට එම අධික මිල ගණන් වැය කරමින් මෙම එන්නත මිළදී ගැනීමේ හැකියාවක් නොමැති බැවින් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බවය.
තවද වකුගඩු රෝගීන් හට ලබා දෙන ඖෂධවල අඩුවක් ද පවතින අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර රෝගීන් සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ වර්ග හිඟතාවයක් ද පවතින බව එහි පැමිණෙන රෝගීහු පවසති.
වකුගඩු රෝගීන් සඳහා ඉදිකරන ලද ගාල්ල ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ පවතින අඩුපාඩු රැසක් හේතුවෙන් වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ද දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇතිබව වාර්තා වේ.
2021 වසරේ විවෘත කරන ලද රුපියල් මිලියන 794ක වියදමින් ඉදිකළ මෙම නව වකුගඩු ඒකකය මහල් 09කින් යුක්ත වන අතර මෙහි බිම් මහළ වකුගඩු ඒකකයේ බාහිර රෝගී ප්‍රතිකාර සායන සඳහා යොදා ගනු ලබයි.
ගාල්ල ජාතික රෝහලක් වූ නමුත් දැනට වකුගඩු සායනයේ පවතින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හිඟකම හේතුවෙන් තමන්ට සායනවල දිගු වේලාවක් රැඳී සිටීමට රෝගීන්ට සිදුව ඇති අතර සායනයේ අවම කාර්ය මණ්ඩලය, වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය උපරිමයෙන්ම සිය රාජකාරිය ඉටු කරන බවද රෝගීහු පවසති.
වකුගඩු රෝගීන් වන තමන්ට ජලය පානය කිරීම සීමා කර ඇති බැවින් මෙලෙස දිගු වෙලාවක් පෝලිම්වල රැඳී සිටීම දැඩි අපහසු ක්‍රියාවක් බවත් ඒ හේතුවෙන් තමන් ශාරීරිකව හා මානසිකව පීඩාවට පත්වන බවට රෝගීහු මැසිවිලි නගති.
මෙම රෝගීන් විසින් සෞඛ්‍ය බලධාරීන් වෙතින් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම අත්‍යවශ්‍ය ඖෂධ ගැටලුව ඇතුළු මෙම ඒකකයේ පවතින ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙසය.