Connect with us

පුවත්

සැදැහැවතුන් විශාල පිරිසක් පළමු දිනට දළදා වහන්සේ වැඳපුදා ගනී

Published

on

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට අද (18) උදාවුණි.

ඒ දහසය වසරකට පසු අද ඇරඹි සිරි දළදා වන්දනාව සමඟිනි.

සිරි දළදා වන්දනාවේ සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක්වූ අතර දළදා වන්දනාවේ පළමු දිනය වූ අද 60,000ක පමණ සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගත්හ.

සෙංකඩගල රාජධානියේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ, ලෝ වාසී බෞද්ධයන්ගේ අපමණ ගරු බුහුමන් මැද වැඩවෙසෙන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට මෙන්ම විදෙස් තානාපතිවරුන්ට ද අද උදාවුණි.

විදෙස් තානාපතිවරුන්ව කොළඹ සිට මහනුවර දක්වා විශේෂ දුම්රියක් මඟින් රැගෙන ගොස් තිබුණි.

‘සිරි දළදා වන්දනාවෙහි සමාරම්භය වෙනුවෙන් ප්‍රථමයෙන් අස්ගිරි හා මල්වතු පාර්ශ්වයේ මහනායක හිමිවරු දළදා මාලිගය වෙත වැඩම කළහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීම සිදුවුයේ ඉන් අනතුරුවය.

ඉන් අනතුරුව අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් සිරි දළදා වන්දනාවකදි සිදු කරන විශේෂ ආගමික වතාවත් ඉටුකෙරුණි.

එහිදි සිරි දළදා වන්දනාවෙහි සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදුකර තිබේ.

ආගමික වතාවත්වලින් පසු ”සිරි දළදා වන්දනාව” ඇරඹුණු අතර මෙරට සේවයේ නිරත විදෙස් තානාපතිවරුන් රැසක් ද දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණ සිටීම විශේෂත්වයකි.

දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමේ බලාපොරොත්තුවෙන් දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන් මහා පිරිසක් අද පස්වරුව වන විටත් දිගු පෝලිම්වල රැඳී සිටියහ.

මෙම සැදැහැවතුන් වෙනුවෙන් ප්‍රවේශ මාර්ග තුනක් සකස් කර තිබේ.

ඒ, ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම දක්වා, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාළිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා ලෙසිනි.

අද දහවල් 12.30ට ආරම්භ වූ සිරි දළදා වන්දනාව පස්වරු 5.30ට අවසන් කෙරුණි.

පුවත්

පරාටේ නීතිය අද සිට ක්‍රියාත්මකයි

Published

on

By

බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර තිබේ.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුව විසින් මාස 3කට අත්හිටවූ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට පෙර මාස 06ක කාලයකට එම නීතිය අත්හිටුවා තිබුණි.

කෙසේවෙතත් එම නීතිය බලාත්මක කිරීම තුළින් මෙරට කර්මාන්ත කඩා වැටෙන බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් පෙන්වා දෙයි.

එම නිසා තවත් වසරක කාලයක් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ව්‍යාපාරිකයින් රජයෙන් ඉල්ලීමක් කළේය.

පරාටේ නීතිය නැවත බලාත්මක කිරීමේ දී පවතින ගැටලු පිළිබඳව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවය.

පරාටේ නීතිය ක්‍රියා­ත්මක වී අද සිට ව්‍යාව­සා­ය­ක­යන්ගේ හා කර්මා­න්ත­ක­රු­වන්ගේ දේපොළ වෙන්දේ­සිය ඉතා වේග­යෙන් ක්‍රියා­ත්මක කිරී­මට අනු­මැ­තිය හිමි වන බවත් මේ තුළින් ක්ෂුද්‍ර කුඩා මධ්‍යම පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් සහ ව්‍යව­සා­ය­ක­යන් රැස­කගේ දේපොළ වෙන්දේ­සි­වී­මට නිය­මිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පවසයි.

විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් විපක්ෂ නාය­ක­ව­රයා ඊයේ (30) මේ අදහස් දැක්වීය.

රටේ දළ දේශීය නිෂ්පා­ද­න­යට 50%කට වැඩි දාය­ක­ත්ව­යක් ලබා දෙමින් 40 ලක්ෂ­ය­කට වැඩි ප්‍රමා­ණ­ය­කට රැකියා ලබා දෙන්නේ මේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් සහ ව්‍යව­සා­ය­ක­යන් බව හෙතෙම පෙන්වා දෙයි.

මේ පරාටේ නීතිය නැවත වරක් ක්‍රියා­ත්මක කර ව්‍යව­සා­ය­ක­යන්ගේ හා කර්මා­න්ත­ක­රු­වන්ගේ දේපොළ හා සම්පත් පරාටේ නීතිය හරහා වෙන්දේසි වන විට මේ ක්ෂේත්‍ර­යෙන් දළ දේශීය නිෂ්පා­ද­න­යට වෙන දාය­ක­ත්වය අඩු වෙන බවට ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ ආණ්ඩුව සිතිය යුතු බවත් එය ඍජු­වම ආර්ථික වර්ධ­න­යට බල­පාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්…

Published

on

By

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවය.

නයෝමි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බවය.

Continue Reading

පුවත්

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Published

on

By

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.

පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved