මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයන් 33 දෙනෙක් ධීවර යාත්‍රා 3 ක් සමග අද (26) මන්නාරමට උතුරින් වූ මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු නාවික විධානයට හා වෙරළ ආරක්ෂක දෙපාර්තමෙන්තුවට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රා යොදවා මෙම මෙහෙයුම් සිදුකරනු ලැබූ අතර තවත් ධීවර යාත්‍රා කීපයක් මෙරට මුහුදු සීමාවෙන් පලවාහැරීම ද සිදුකෙරිණි.
එහිදී තව දුරටත් මෙරට මුහුදු සීමාවේ රැදී සිටි ඉන්දීය යාත්‍රා 3 ක් සමග ධීවරයන් 33 දෙනකු අත්අඩංගුවට ගත් අතර නාවික හමුදාව විසින් ඔවුහු ඉරණතිව් දූපත වෙත රැගෙන ගොස් තිබිණි.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.