පාතාල කල්ලි නායක නදුන් චින්තක හෙවත් හරක්කටා ආරක්‍ෂක නිලධාරීන්ට වෙඩිතබා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යෑමේ සැලසුම සාර්ථක වී නම් ඔහු සහ ඔහුට සහාය දුන් පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවට පිටකිරීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටි කණ්ඩායමේ සාමාජිකයකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හරක්කටා සහ පොලිස් කොස්තාපල්වරයා කොළඹ සිට මාතර දක්වා රැගෙන යෑමට සූදානම් කර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට නතර කරගෙන තිබූ මෝටර් රථය ද මාතර කැකණදුර ප්‍රදේශයේ තිබියදී අපරාධ කොට්ඨාසය මගින් සොයාගෙන තිබේ.
සැකකරු විසින් අදාළ මෝටර් රථය මේ සඳහා ලබා දී ඇත්තේ මාතර කැකුණදුර ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබාදෙන ආයතනයකින් ලබාගෙන බව හෙළිව තිබේ.
හරක්කටා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයා රටින් පිට කිරීම සඳහා රැගෙන යෑමට පැමිණ සිටි පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ සැඟවී සිටියදී ය.
හරක්කටාගේ ප්‍රබල සාමාජිකයකු වන මොහු තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයෙකි.
හරක්කටා ඉකුත් 10 වැනිදා සවස අපරාධ පරීක්‍ෂණ මූලස්ථානයෙන් පලා යෑමට සැලසුම් කර තිබූ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් එය ව්‍යර්ථ කර තිබිණි.