පුවත්

හිරුණිකාත් ලයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලයි, ඩලස්, මනෝ, ඩිලාන්, ඉරාන් හා සුජීව පෝලිමේ

Published

on

“මම පක්ෂය වෙනුවෙන් සහ නායකතුමා වෙනුවෙන් විශාල මහන්සියක් වුණ කෙනෙක්. ඒ නිසා ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් කාන්තාවකට හිමිවෙනවා නම් ඒ සඳහා සුදුසු කෙනා මම.” යැයි සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදීය.

විපක්ෂයේ සිට හඬ නැගිය හැකි පිරිසක් පාර්ලිමේන්තුවේ සිටි නම් ඒ සමගි ජනබලවේගය බවත් එවැනි ප්‍රබල හඩක් වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් සඳහා තමා හොඳින්ම සුදුසුකම් සපුරන බවත් ඇය සඳහන් කළාය.

“ඉදිරියට මගේ සටන්කාමීත්වය රටට අවශ්‍ය වෙයි. මොකද දේශපාලන පක්ෂයකට හෝ ආණ්ඩුවකට විශාල බලයක් තියෙන විට වැරදි වීමේ ඉඩකඩ බොහෝ සෙයින් වැඩියි. ආණ්ඩුවකට තුනෙන් දෙකේ බලයක් ලැබුනාම එය ඉතාම කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. දීර්ඝ කාලයක් ඉවසන ජනතාවක් නෙවේ ඔවුන්ට ඡන්දය ලබා දීලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව පොරොන්දු වූ කාරණා කඩිනමින් ඉෂ්ට කරන්න සිද්ද වෙනවා. දැන් ආණ්ඩුවට අරක නැහැ මේක නැහැ කියලා කියන්න බැහැ. ඔවුන්ට ඕනවට වඩා බලය තියෙනවා. ඒ වගේම අපිට ප්‍රබල විපක්ෂයක් පේන්න නැහැ. ඒ නිසා විපක්ෂයේ හඬ නගන්න හැකි පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. එම පිරිස සමගි ජනබලවේගයේ ඉන්නවා. ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් සඳහා තමා හොඳින්ම සුදුසුකම් සපුරනවා. මම නායකතුමා සියයට සියක් විශ්වාස කරනවා වගේම නායකතුමාත් මාව සියයට සියක් විශ්වාස කරයි කියලා මම හිතනවා.”

මේ අතර, පක්ෂයට හිමි වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර පහෙන් ඉතිරි හතර සඳහා නම් කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් ඊයේ (20) වනතුරුත් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී තිබිණි. 

ඩලස් අලහප්පෙරුම, ඉරාන් වික්‍රමරත්න, ඩිලාන් පෙරේරා, ඉමිතියාස් බාකිර් මාකර්, සුජීව සේනසිංහ සහ මනෝ ගනේෂන් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධුර අපෙක්ෂාවෙන් සිටින බවද මේ අතර පැවසේ.

Trending

Exit mobile version