පුවත්

හොරෙන් මෙරටට එන්න ආ නයිජිරියානුවා පිටුවහල් කරයි

Published

on

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ නයිජීරියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.
31 හැවිරිදි මෙම නයිජීරියානු ජාතිකයා එරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ රැදී සිටින්නෙකු බවට තොරතුරු ප්‍රකාශ කර තිබේ.

මොහු නයිජීරියාවේ සිට  ලයිබීරියාවට පැමිණ එතැනින් මොරොක්කෝ රාජ්‍යයට පැමිණ තිබේ. ඉන්පසුව කටාර් රාජ්‍යයට පැමිණ කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මොහු ගුවන් තොටුපළ වෙත පිවිස ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුවෙහි සේවයේ නිරත  නිලධාරීන් වෙත බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රය ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව ඇතිවූ සැකය මත , ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා විසින් මෙම ලියකියවිලි ගුවන් තොටුපළ තුළ පිහිටි දේශසීමා ආවේක්ෂණ ඒකකයේ විමර්ශනය සදහා යොමු කර තිබේ.

එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කර ඇති බව තහවුරු වීමත් සමගම , තමන් ඉකුත් 2022 වසරේ සිට කීප අවස්ථාවකම ශ්‍රී ලංකාවට පැමිණීම සදහා වීසා අයදුම් කර සිටි බවත් , ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූ පසුව තම පියා විසින් මෙම බහමාස් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රය සකස් කර දුන් බවත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබේ .

අමෙසේ නයිජීරියානු ජාතිකයන් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඒ.ටී.එම්.යන්ත්‍ර කඩා මුදල් ගැනීම , ව්‍යාජ දත්ත ඒවාට ඇතුළත් කර මුදල් සොරා ගැනීම ආදී මූල්‍ය වංචා සිදු කිරීම පිළිබඳව දිගින් දිගටම චෝදනාවලට ලක් වීම නිසා , ඔවුන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවකාශය ලැබෙන්නේ දැඩි සොයා බැලීම් වලින් අනතුරුව අත්‍යාවශ්‍යම පුද්ගලයෙකුට පමණි.

(ලංකාදීප)

Trending

Exit mobile version