පුවත්

අගමැතිනිය හා ලෝක බැංකු නියෝජිතයින් අතර සාකච්ඡා

Published

on

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති Martin Raiser මහතා අතර හමුවක් ඊයේ (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම ජාතික අභියෝගවලට මුහුණ දීමේ සහ රටතුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

මෙරට තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව (TVET) තුළ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. සිසුන් සඳහා විවිධ වෘත්තීය මාර්ග නිර්මාණය කිරීම සඳහා පාසැල් අධ්‍යාපනය සමඟ වෘත්තීය අධ්‍යාපනය ඉගැන්වීමේ වැදගත්කම දෙපාර්ශවයම මෙහිදී අවධාරණය කළහ.

ශ්‍රම බලකායේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා කාන්තාවන් සහභාගී කර ගැනීම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම් වල අවශ්‍යතාවය පිළිබඳව ද අවධානය යොමු කෙරිණ. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කලාපීය සංවර්ධනය ඉහළ නංවන තිරසාර විසඳුම් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුවේ අන්‍යෝන්‍ය කැපවීම මෙම සාකච්ඡාවේදී තහවුරු විය.

නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා කලාපීය අධ්‍යක්ෂ David Sislen මහතා ඇතුළු ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත , විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර , විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් (ද්විපාර්ශ්වික) දර්ශන එම් පෙරේරා , සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියා සහ මධ්‍යම ආසියානු අංශයේ අධ්‍යක්ෂිකා ලෂිංකා දම්මුල්ලගේ යන මහත්ම මහත්මීන්ද මෙම හමුවට එක්විය.

Trending

Exit mobile version