පුවත්

අජිත් දොවාල් හා අගමැති දිනේෂ් අතර හමුවක්

Published

on

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා මෙරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව ඊයේ (29) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුව තිබේ.

එහිදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉමහත් විභවයක් පවතින බැවින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කළ යුතු බව පැවසු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ඉන්දියාවට අවශ්‍ය බව පැවසූ දොවාල් මහතා ප්‍රමුඛ අවශ්‍යතා පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසා තිබේ.

බලශක්ති ක්ෂේත්‍රය එක් ක්ෂේත්‍රයක් බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා මහා පරිමාණ සහ කුඩා පරිමාණ විකල්ප බලශක්ති ව්‍යාපෘති සඳහා සහය දැක්වීම සම්බන්ධයෙන් ඉන්දියාවට මෙහිදී ස්තුතිය පළ කර තිබුණි.

විදුලිබල උත්පාදනය සහ බෙදාහැරීම සඳහා පෞද්ගලික අංශයේ සහභාගිත්වය පහසු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩල රෙගුලාසි සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇති බවත් සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ආයෝජන වැඩි කළ හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දිගු කාලීනව ශ්‍රී ලංකාවට දේශීය අවශ්‍යතාවයට වඩා වැඩි විදුලි ප්‍රමාණයක් නිපදවිය හැකි බවත්, අතිරික්ත විදුලිය ඉන්දියාවට විකුණා විශාල මූල්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බවත් මෙහිදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා පවසා තිබේ.

භූතානය විශාල වශයෙන් ජල විදුලිය නිපදවන අතර එය ඉන්දියාවට අලෙවි කරන බවත් එය එරට විශාලතම ආදායම බවත් ඔහු මෙහිදි පෙන්වා දී තිබුණි.

ශ්‍රී ලංකාවේ ථෙරවාදී ආර්ථික ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ සියවස් 25 කට පෙර ගෞතම බුදුන් වහන්සේගේ සමයේ ඉන්දියාවේ පැවති ආර්ථික පිළිවෙත් අනුව බවත් එය ආර්ථික වර්ධනයට අනුපූරකයක් වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ බව පැවසේ.

තවද සන්නද්ධ හමුදා සාමාජිකයින්ට සහ රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ කුසලතා සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ලබා දෙන පුහුණුව පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවට සිය ස්තූති පළකර සිටියේය.

සබැඳි පුවත්
https://sinhala.srilankamirror.com/news/ඉන්දියාවේ-ජාතික-ආරක්ෂක-උ/

Trending

Exit mobile version