Connect with us

පුවත්

අත්හිටවූ ඖෂධ 40ක් SPMC නිෂ්පාදන – රවී කුමුදේශ්

Published

on

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ රෝහල් වෙත සැපයූ ඖෂධ රෝගීන්ට දීම අවස්ථා 69 කදී අත්හිටුවා ඇති බවත් එහිදී අත්හිටුවූ ඖෂධ කාණ්ඩ අතරින් කාණ්ඩ 40 ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සැපයූ ඖෂධ බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.

ඖෂධ නිෂ්පාදන සංස්ථාව සපයන ඖෂධවල තත්වය පිළිබඳව ඇති ගැටලු මග හැර සිටීමට වඩා එය නිවැරදි කර ගැනීමට නිසි අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව කී කුමුදේෂ් මහතා පැවසුවේ වැඩි ඖෂධ කාණ්ඩ ප්‍රමාණයක් නතරකර ඇති තනි සැපයුම්කරු ලෙස රජයේ මැදිහත් වීමෙන් ඖෂධ නිෂ්පාදනය කරන ආයතනයට වගකීම පැවරෙද්දී ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ අවධානය මීට වඩා යොමුවිය යුතු බවත්ය.

දේශීය ඖෂධ නිෂ්පාදන සහ ඉන්දියානු නිෂ්පාදන පිළිබඳව වැරදි මතයක් සමාජ ගත කරමින්, යුරෝපයේ ඖෂධ පමණක් ගෙන්වීමේ තීන්දුවක් ගැනීමට ඇතැම් අය උත්සාහ කරන බව කී කුමුදේෂ් මහතා ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් ඇමරිකාව සහ යුරෝපා රටවලට ඉතා විශාල වශයෙන් තත්වයෙන් උසස් ඖෂධ අපනයනය කරමින් සිටියදී එම රටවලින් බාල ඖෂධ පමණක් මෙරටට ලැබීම තෝරා ගැනීම පිළිබඳ ගැටලුවක් මිස, රට පිළිබඳ ගැටළුවක් නොවන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා රජය මැදිහත් වීමෙන් රටට ඖෂධ සැපයෙන ආයතනයේ නිෂ්පාදන පිළිබඳ ගැටළුවක් ඇත්නම් එය කළමණාකරණ ගැටළුවක් මිස රටේ නොහැකියාව පිළිබඳ ගැටළුවක් නොවන බවත් මෙරට ආර්ථික අර්බුදයට අදාලව තීන්දු ගනු ලබන්නේනම් දේශීය ඖෂධ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් කුමුදේෂ් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.


පුවත්

අදින් ඇරඹෙන පොසොන් සතිය

Published

on

By

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි.

ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය මහතා පැවසීය.

ඔහු පවසන්නේ පොසොන් කාලසීමාව තුළ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයාගැනීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ද නිර්මාණය කර ඇති බවය.

රථවාහන තදබදය අවම කරගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමාධාර මධස්ථාන ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම යෙදවුම හදුන්වා දීමට බලාපොරොත්තු වන බවද කේ.පී.ආර්. විමලසූරිය මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

Published

on

By

පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවය.

වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළද වෛද්‍ය රසායනාගාර වෘත්තියින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

Continue Reading

පුවත්

යළිත් ලොකු වැස්සක්

Published

on

By

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved