රියැදුරු බලපත්‍රයක් මෙන්ම ජාතික හැඳුනුම්පතක් ද නොමැතිව යාපනයේ සිට කොළඹ බලා මෝටර් රථයක් පදවමින් සිටියදී පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය කළැයි කියන සිද්ධියේ සැකකරු තමා බව පවසමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ ඊයේ (22) මෝසමක් ඉදිරිපත් කරමින් පෙනී සිටියේය.
මෙම සිද්ධියට අදාළව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ රාමනාදන් ලෝචනා නමැත්තකු පිළිබඳව මිස රාමනාදන් අර්චුනා නමැත්තෙකු සම්බන්ධයෙන් නොවන නිසා මෙම නඩුවේ සැකකරු ලෙස ඔහු පිළිගැනීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී තරයේ ප්‍රතික්ෂේප කළේය.
මෙම නඩුවේ සැකකරු ලෙස සිය ජාතික හැඳුනුම්පතද සමඟ රාමනාදන් අර්චුනා නමැත්තා අධිකරණයට ඉදිරිපත්ව සිටියත් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල එවැන්නෙක් ගැන සඳහන්ව නොමැති බැවින් තමාට එය පිළිගත නොහැකි බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය සිය මුල් බී වාර්තාව මඟින් කරුණු දක්වමින් සැකකරුගේ නම ලෙස සඳහන් කර ඇත්තේ අර්චුනා ලෝචනා යනුවෙන් බවත් අධිකරණයට ඉදිරිපත් වන සැකකරුගේ නම සහ මුල් බී වාර්තාව මඟින් සඳහන් කර ඇති සැකකරුගේ නම අතර පැහැදිලි පරස්පරතාවයක් තිබෙන බවත් ප්‍රකාශ කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රාමනාදන් අර්චුනා යන අය මෙම නඩුවේ සැකකරු ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළේය.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ අනුරාධපුර කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවකට සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය නීතිඥ සුනන්ද තෙන්නකෝන් මහතා මාර්ගයෙන් මෝසමක් මඟින් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පෙරේදා (21) අධිකරණයට කරුණු වාර්තා කරමින් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් ලෝචනා යන අයට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කරන ලෙසයි.
එහිදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය පොලීසියට දැනුම් දුන්නේ සැකකරු සිදුකර ඇති බව කියන වැරදි සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් නොකරන අවස්ථාවක නොතීසි නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි.
මූලාශ්‍රය – දිනමිණ