පුවත්

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු හඳුනාගනී (UPDATE)

Published

on

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා විසින් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට එම සැකකරු සොයා පරීක්ෂණ දිගින් දිගටම  සිදු කෙරෙන බවය.

අදාළ සැකකරු හමුදාවෙන් පළා ගිය පුද්ගලයෙකු බවත් ඔහු ජීවත් වන ප්‍රදේශය සම්බන්ධ තොරතුරුද මේ වන විට හදුනාගෙන ඇති බවත් ආනන්ද විජේපාල මහතා තවදුරටත් සඳහන් කලේය.

(පෙර පුවත 2025 මාර්තු 11 ප.ව.1.38)


අනුරාධපුර ශික්ෂණ රෝහලේ  වර්ජනයක්

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියක් පෙන්වා අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කර ඇති බව කියන සිද්ධියකට විරෝධය දක්වමින් ය.

විරෝධයේ නිරත වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය.

32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් තිබේ.

ඉන්පසු සවස 6:30ත් 7ත් අතර කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර  පොලීසිය සිදුකරයි.

Trending

Exit mobile version