පුවත්

අලුතෙන් පත් වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන්ට නම්නීකරණ වැඩසටහනක්

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෑතක දී පත් කරන ලද විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් දාහතර දෙනෙකු (14) සහ දූත කාර්යාල ප්‍රධානීන් දෙදෙනකු (02) සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් දෙසැම්බර් 16 සිට 23 දින තෙක් පවත්වන ලදී. මෙලෙස පත්වීම් ලැබූ නිලධාරීහු නොබෝ දිනකින් සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිත ය.

දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් විශාල සංඛ්‍යාවක් පත් කිරීම පිළිබඳව විදේශ අමාත්‍යංශය සිය ප්‍රසාදය පළ කර සිටියි. අභිනව නම් කළ දූත මණ්ඩල ප්‍රධානීන්ගෙන් දොළොස් දෙනෙකු (12) සහ එක් (01) දූත කාර්යාල ප්‍රධානියෙකු ශ්‍රී ලංකා විදේශ සේවයේ සාමාජිකයෝ වෙති.

නම්නීකරණ වැඩසටහන ආරම්භ කළ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා, ශ්‍රී ලංකා දූත මණ්ඩලවල වත්මන් ප්‍රමුඛතා මෙන්ම විදේශ ප්‍රතිපත්ති අභියෝග පිළිබඳව අවධාරණය කළේය. විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, මෙරට ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ඉවහල් වන දූත මණ්ඩල ප්‍රධානීන්ගේ නායකත්ව භූමිකාව පිළිබඳව අවධාරණය කළා ය. ආර්ථිකය, දේශපාලනය, ආරක්‍ෂාව, සංස්කෘතිය සහ කොන්සියුලර් කටයුතු යනාදිය පිළිබඳව පැවැත්වූ සාකච්ඡා මෙන්ම උතුරු පළාතේ සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සිදු කළ ක්ෂේත්‍ර චාරිකා ද මෙම නම්නීකරණ වැඩසටහනට ඇතුළත් විය. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මියගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවක් අතරතුර, නම් තළ තානාපතිවරු සිය ධුර කාලය සඳහා සකසන ලද  උපායමාර්ග ඉදිරිපත් කළහ. නම් කළ දූත මණ්ඩල ප්‍රධානීහු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමු වූ අතර නුදුරේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද හමුවීමට නියමිත ය.

විදේශ සේවය නියෝජනය කරමින් නම් කරන ලද නව දූත මණ්ඩල ප්‍රධානීන් අතරට, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස නම් කළ හිමාලී අරුණාතිලක මැතිනිය, බහරේනය සඳහා නම් කළ තානාපති රීති විජේරත්න මැතිනිය, ඕස්ට්‍රේලියාව සඳහා නම් කළ මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර මැතිනිය, වියට්නාමයේ තානාපති ලෙස නම් කළ ආචාර්ය සජ් මෙන්ඩිස් මැතිතුමා, ප්‍රංශය සඳහා නම් කළ තානාපති මනීෂා ගුණසේකර මැතිනිය, කුවේටය සඳහා නම් කළ තානාපති බී. කාන්දීපන් මැතිතුමා, ඉතියෝපියාව සහ අප්‍රිකා සංගමය සඳහා නම් කළ තානාපති තෙශාන්ත කුමාරසිරි මැතිතුමා, ජර්මනිය සඳහා නම් කළ තානාපති වරුණි මුතුකුමාරණ මැතිනිය, ලෙබනනය සඳහා නම් කළ  තානාපති කපිල ජයවීර මහතා, ජෝර්දානය සඳහා නම් කළ තානාපති ප්‍රියංගිකා විජේගුණසේකර මැතිනිය, පිලිපීනය සඳහා නම් කළ තානාපති ආචාර්ය චානක තල්පහේවා මහතා, ඊශ්‍රායලය සඳහා නම් කළ තානාපති නිමල් බණ්ඩාර මැතිතුමා සහ මිලාන් සඳහා නම් කළ කොන්සල් ජනරාල් ඩිලානි වීරකෝන් මැතිනිය යනාදීහු ඇතුළත් වූහ.

මීට අමතරව, ඉන්දුනීසියාව සඳහා නම් කළ තානාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා නම් කළ තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා සහ මෙල්බර්න් හි කොන්සල් ජනරාල් සන්දිත් සමරසිංහ මහතා ද මෙලෙස පත් කරන ලදී.

Trending

Exit mobile version