පුවත්

ආරුගම්බේ පරීක්ෂණ ඇරඹුවේ සැප්තැම්බරයේ පොලිසිය කියයි; තවත් පිරිසක් අල්ලන්න සොයයි

Published

on

රට තුළ සිටින ඊශ්‍රා­යල ජාති­ක­යන් වෙත ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට සැල­සුම් කළ බව කියන සිද්ධි­යට සම්බන්ධයෙන්  විමර්ශන ආරම්භ කරනු ලැබුවේ පසු­ගිය සැප්තැ­ම්බර් මාසයේ දී බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසාන් අම­ර­සේන මහ­තාට ඊයේ (28) දැනුම් දුන්නේය.

එසේම මේ සම්බන්ධයෙන් තවත් සැක­ක­රු­වන් කිහි­ප­දෙ­නකු පිළි­බඳ තොර­තුරු හෙළි වූ බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවද ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය අධිකරණයට දැනුම් දුන්නේය.­

ආරු­ගම්බේ ප්‍රදේ­ශය මුල් කර­ගෙන ත්‍රස්ත ප්‍රහා­ර­යක් එල්ල කිරීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් සිව්දෙ­නා­ගෙන් රඳ­වා­ගෙන ප්‍රශ්න කළ අව­ස්ථාවේ මෙම සිද්ධි­යට අදා­ළව සෙසු සැක­ක­රු­වන් කිහිපදෙනා පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය වූ බව ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට කීය.

ඒ අනුව මෙම සැක­ක­රු­වන්ට අදා­ළව ඉදිරි විම­ර්ශන කට­යුතු ආරම්භ කිරී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය විශේෂ මෝස­මක් ගොනු කර මහේ­ස්ත්‍රා­ත්ව­ර­යා­ගෙන් අව­සර ඉල්ලීය.  

මෙම සිද්ධි­යට අදාළ සියලු විම­ර්ශන කට­යුතු කිරී­ම­ටත් සැක­ක­රු­වන් වහාම අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස­ටත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම අව­ස්ථා­වේදී නියෝග කළේය.  

ඉදි­රි­පත් වූ තොර­තුරු අනුව සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­කාර පුද්ග­ල­යන් තිදෙ­නකු මේ වන විට අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බවත් සඳ­හන් කළ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය සැක­ක­රු­වන් රහස් පොලි­සියේ රඳවා ඉදිරි විම­ර්ශන කට­යුතු සිදු කිරී­මට අව­සර ලබා­දෙන ලෙසත් ඉල්ලා සිටි­යේය.

ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය ඉදි­රි­පත් කළ කරුණු හා විශේෂ වාර්තාව සලකා බැලූ අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රයා අදාළ ඉල්ලී­ම්ව­ලට අව­සර ලබා දෙමින්, වාචි­කව ඉදි­රි­පත් කළ කරුණු විම­ර්ශන ගොනුවේ සට­හන් කර තැබීය.

ඒ අනුව ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ අධි­ක­ර­ණය මෙම සැක­ක­රු­වන් පිළි­බඳ දීර්ඝ පරී­ක්ෂ­ණ­යක් පව­ත්වා­ගෙන යන ලෙසට ද නියෝග කළේය.

Trending

Exit mobile version