Connect with us

පුවත්

ඇමෙරිකානු – ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසමට වසර 70යි!

Published

on

ශ්‍රී ලංකාවේ ජනාධිපති – රනිල් වික්‍රමසිංහ මහතා, අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත මහතා, එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය, සහ එ.ජ.-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය, විධායක අධ්‍යක්ෂ හා කාර්යමණ්ඩලය ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතරේ ද්වි-ජාතීය ෆුල්බ්‍රයිට් හුවමාරු වැඩසටහන දියත් කර 70 වසරක් සම්පූර්ණ වීම ඊයේ (16) දිනයේදී සැමරූහ.

ඒ වෙනුවෙන් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයට වත්මන් ශිෂ්‍යත්වධාරීන්, ආදිසිසුන්, ශාස්ත්‍රාලික උසස් නිලධාරීන්, සහ දශක හතක් මුළුල්ලේ වැඩසටහනට සහය දුන් අනෙකුත් අය සහභාගි වූහ.

එක්සත් ජනපදයෙන් අරමුදල් ලබා කොමිෂන් සභාව 1952 සිට ක්‍රියාත්මක කරන වැඩසටහන් හරහා අධ්‍යාපනය ලැබීමට, පශ්චාත් උපාධි ලැබීමට, ඉගැන්වීමට, පර්යේෂණවල නිරතවීමට, සහ වෘත්තීය සංවර්ධනය සඳහා 2000 ඉක්මවන ශ්‍රී ලාංකික සහ ඇමරිකානු සිසුන්, ශ්‍රාස්ත්‍රවේදීන්, ගුරුවරුන්, සහ වෘත්තිකයින් වෙත ඉඩ සැලසී තිබේ. උත්සවය අවස්ථාවේ අදහස් දක්වමින් චංග් තානාපතිතුමිය සඳහන් කළ පරිදි: “ෆුල්බ්‍රයිට් වැඩසටහන හරහා ශ්‍රී ලාංකිකයින් සහ ඇමරිකානුවන් දහස් ගණනකට අප දෙරටේ අධ්‍යාපනය ලැබීමේ හා ජීවත්වීමේ මාහැඟි අත්දැකීම ලබන්නටත්, දැනුම බෙදාහදා ගන්නටත්, වෘත්තීය සම්බන්ධතා සංවර්ධනය කරගන්නටත්, ජීවිත කාලය ම පවතිනා මිතුරු සම්බන්ධතා ඇති කරගන්නටත් අවස්ථාව සැලසී තිබෙනවා.”

දෙරටටම ප්‍රතිලාභ ගෙන දෙන දැනුම හුවමාරුව සහ වෘත්තීය සංවර්ධනය සංකේතවත් කළ ශ්‍රී ලංකාවේ සහ ඇමරිකානු වත්මන් ශිෂ්‍යත්වධාරීන් සහ ආදි ශිෂ්‍යයින් උත්සවයේ දී වික්‍රමසිංහ ජනාධිපතිතුමා, ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍යතුමා සහ චංග් තානාපතිතුමිය අතින් පැසසුමට පාත්‍ර වූහ.

එක්සත් ජනපදයේ ශාස්ත්‍රපති උපාධියක් සහ ආචාර්ය උපාධියක් ලබා නැවත පැමිණ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයක ජෛව ආරක්ෂණ විද්‍යාගාරයක් මෙහෙයවීම හරහා මෙරට ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීමේ හැකියාව ශක්තිමත් කරන තරුණ ශ්‍රී ලාංකික ජීව විද්‍යාඥවරියකගේ උදාහරණය තානාපතිනිය සිය අදහස් දැක්වීම තුළ සඳහන් කළාය. එසේම, පවතින ආර්ථික අර්බුදය නොතකා දැනට ශ්‍රී ලංකාවේ උපාධි අපේක්ෂකයින්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ නිරත වෙමින් ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු ගුරු සහායකවරියක සම්බන්ධයෙන් ද එතුමිය සඳහන් කළාය.

ෆුල්බ්‍රයිට් වැඩසටහනේ ශ්‍රී ලාංකික ඉතිහාසය තුළ ලබන්නට හැකි වූ ප්‍රතිලාභ සඳහා තවත් බොහෝ උදාහරණ තිබේ: සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධව වැඩ කළ ජ්‍යෙෂ්ඨ ඇමරිකානු විද්වතෙක් සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ ශ්‍රී ලංකාවේ පළමු විද්‍යාපති උපාධිය සැලසුම් කිරීම; සහ ශ්‍රී ලාංකික විද්වතුන් දෙපලක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණි පසු තම ෆුල්බ්‍රයිට් අත්දැකීම් පදනම් කරගනිමින් ගෝලීය දේශපාලනය සහ ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් පාඨමාලා හඳුන්වාදීම ඊට ඇතුළත් ය. ගෝලීය වශයෙන් ගත් කල, වත්මන් සහ හිටපු රාජ්‍ය නායකයින් 41 දෙනෙක් ද, නොබෙල් ත්‍යාගලාභීන් 62ක් ද ෆුල්බ්‍රයිට් ආදිසිසුන් වේ.

“ගෙවී ගිය වසර 70ක් මුළුල්ලේ සාර්ථකව දෙපසටම ගලාගිය සංස්කෘතික සහ ශ්‍රාස්ත්‍රඥ හුවමාරුවල සාර්ථකත්වය එ.ජ.-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිෂන් සභාවේ හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉමහත් වෑයමින් සහ ශ්‍රී ලංකා රජයෙන් ඊට ලැබුණු සහයෙන් සිදු වූ බවට සැකයක් නැහැ” යනුවෙන් සඳහන් කරමින් චංග් තානාපතිතුමිය කොළඹ පිහිටි ද්වි-ජාතීය ෆුල්බ්‍රයිට් කොමිෂන් සභාව සහ එහි කාර්යමණ්ඩලය අගය කිරීමට ලක් කළාය.

1952 දී දියත් කරන ලද, ශ්‍රී ලංකාවේ ආරම්භක ෆුල්බ්‍රයිට් වැඩසටහන හරහා කෙටි කාලීන ශාස්ත්‍රීය හුවමාරු සඳහා අනුග්‍රහය දැක්වූ අතර, වසර 12 කට පසුව, දෙරට අතර ස්ථිර ගිවිසුමක් බවට පත් කිරීම සඳහා එය පුළුල් කරන ලදී.

දැනට, ශ්‍රී ලංකාවේ ෆුල්බ්‍රයිට් වැඩසටහන සඳහා සම්පූර්ණයෙන් ම අරමුදල් සපයන්නේ එක්සත් ජනපද රජය විසින් වන අතර, ඒ හරහා දක්ෂ තරුණ විද්වතුන්ට උපාධි පාඨමාලා හැදෑරීමට ත්‍යාගශීලී ශිෂ්‍යත්ව සහාය ලබා දීම; විද්වතුන් සහ වෘත්තිකයන් හට ඉගැන්වීම සහ පර්යේෂණ පැවැත්වීම සඳහා සහාය ලබා දීම; සහ ගුරුවරුන්ට ඵලදායී පුහුණු ලබාදීම සඳහා මග සලසාලයි. තවද, එය ශ්‍රී ලංකා සහ ඇමරිකානු විශ්වවිද්‍යාල අතර සම්බන්ධතා දිරිමත් කරන අතර ශ්‍රී ලංකාවේ සහ ඇමරිකානු ජ්‍යෙෂ්ඨ විද්වතුන්ට ඒකාබද්ධ පර්යේෂණ සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දෙයි.

Continue Reading

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved