කොළඹ වරායේ නැංගුරම්ලා තිබිය දී ඉන්ධන කාන්දුවක් සිදුවූ නෞකාව සිය භාරයට ගෙන ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ නෞකාවෙන් සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් එම නෞකාව අයත් සමාගමට සහ රක්ෂණ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පනත යටතේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන්දි මුදලක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව සඳහන් ය.
අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගියදා කොළඹ වරායට පැමිණි ඉන්දීය සමාගමකට අයත් නෞකාවකින් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට තොරුතුරු වාර්තා වී තිබුණි.
ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර ඇති අතර එහිදී හයිඩ්‍රොලික් තෙල් කාන්දුවීමක් නෞකාවෙන් සිදුවී ඇති බවට අනාවරණය කරගෙන තිබේ.
නෞකාව අයත් සමාගම ද අදාළ වරද පිළිගෙන ඇති අතර ඒ සඳහා වන්දි මුදලක් ලබාදීමට එකඟතාව පළකර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.
මේ අතර එම ඉන්දීය නෞකාවේ කපිතාන් ඉන්දීය ජාතික රාජ් දෙව් යාදේව්ට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (29)නිකුත් කලේය.
කොළඹ වරාය ඩොක්යාඩ් ජැටියේ නැංගුරම්ලා ඇති ඉන්දිය නෞකාවෙන් හයිඩ්‍රොලික් තෙල් කාන්දු වීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත් අදාළ විමර්ශනය මේ වෙන විට සිදුකරගෙන යමින් පවතින බැවින් කපිතාන්වරයා විදේශගතවීම් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර ඇත.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නියෝගය මාසයකට බලපැවැත්වෙන පරිදි නිකුත් කරමින් විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසට නියෝග කරන ලදී..