Connect with us

පුවත්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Published

on

මැදපෙරදිග කලාපයේ මහා පරිමාණ යුද ගැටුමක අවදානම මතුකරමින් ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසු මතුවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, නොසන්සුන් තත්ත්වයත් සමග ගුවන් ගමන් සීමා කර ඇති බැවින් ඊශ්‍රායලයට පැමිණෙන සහ ඊශ්‍රායලයෙන් පිටත්ව යන ලාංකිකයින් නැවත දැනුම් දෙන තුරු ගුවන් ගමන් පමා කරන ලෙසය.

එමෙන්ම, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස උපදෙස් දෙන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ, සතුරු පාර්ශ්වයන්ගෙන් එල්ල විය හැකි මිසයිලවලින් ආරක්ෂා වීම සඳහා ආරක්‍ෂිත කුටි ආසන්නයේ රැඳීසිටින ලෙසය.

ප්‍රවාහන කටයුතු නවතා ඇති අතර සියලු දෙනාට ආරක්ෂක ස්ථානවලට යන ලෙසට ද ඊශ්‍රායලය උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම, සෑම අවස්ථාවකදීම බීමට අවශ්‍ය ජලය හා වියළි අහාර ළඟ තබා ගන්නා ලෙසටත් ලාංකිකයින්ට උපදෙස් දෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ, තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරා දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයද පෙන්වා දෙන්නේ ඊශ්‍රායලයේ සහ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමග සම්බන්ධවෙමින් නවතම තත්ත්වය පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින බවය.

ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව හමුවෙ ඉරාන විප්ලවකාරී හමුදාවේ ප්‍රධානී හුසේන් සලාමි ද මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, “ඔපරේෂන් රයිසින් ලයන්” ලෙස නම්කර ඇති මෙම මෙහෙයුමේදී ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්, මිසයිල කම්හල් සහ හමුදා මූලස්ථාන ඉලක්ක වූ බවය.

මෙම දැවැන්ත ප්‍රහාරයට ඉරානය නිසැකවම ප්‍රතිචාර දක්වනු ඇති බැවින් සිය රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර සියලු පාසල් වසා දැමීමට ඊශ්‍රායලය පියවර ගත්තේය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ මධ්‍යස්ථාන මෙන්ම හමුදා ඉලක්ක වෙතද එල්ලවූ මෙම ප්‍රහාර සිදුකර තිබුණේ ඊශ්‍රායලයට අයත් IAF ජෙට් යානා යොදගනිමිනි.

ඉරානයේ ප්‍රධානතම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානය ද ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කය වී තිබුණි.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන හමුදාපති මේජර් ජෙනරාල් මොහොමඩ් බගේරි මියගොස් ඇතැයි ඉරානය මාධ්‍ය වාර්තා කළේය.

ඔහු සැලකෙන්නේ එරට උසස්ම හමුදා නිලධාරියා ද ලෙසය.

එමෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ විද්‍යාඥයින් රැසක් මෙම ප්‍රහාරවල ඉලක්කයන් වී තිබුණි.

කෙසේවෙතත් නට්සාන් න්‍යෂ්ටික වැඩබිම වෙත එල්ල වූ බවට තහවුරු කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් එහි විකිරණ මට්ටම ඉහළ ගොස් නැතැයි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය පැවසීය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දැනටමත් ඉරානය ඊශ්‍රායලය වෙත ප්‍රහාරක යානා 200ක් පමණ යොමුකර ඇති බවය.

ප්‍රහාරය ඊශ්‍රායලයේ අධම ස්වභාවය පැහැදිලි කරන්නක් බවත්, මෙමගින් ඊශ්‍රායලය සිය රටට අමිහිරි ඉරණමක් සැලසුම් කරගත් බවත්, ප්‍රකාශයක් නිකුත් කළ ඉරාන ආධ්‍යාත්මික නායක අයතොල්ලා අල් කමෙයිනි ප්‍රකාශ කර ඇත.

මේ අතර ප්‍රහාරය සම්බන්ධව අදහස් පළකළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළේ මෙය ප්‍රහාරයේ ආරම්භය වන අතර අවශ්‍ය ඕනෑම කාලයක් දක්වා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම සිය සැලසුම බවය.

ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කරගැනීම වැළැක්වීම සහ එමගින් සිය ජනතාව ආරක්ෂා කරගැනීම මෙම ප්‍රහාරය සිදුකළ බව ඊශ්‍රායල අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අමෙරිකාව පවසන්නේ තමන් කිසිලෙසක මෙම ප්‍රහාරයට ආධාර හෝ අනුබල නොදුන් බවය.

කෙසේ වෙතත් මැදපෙරදිග කලාපයේ රැඳී සිටින අත්‍යාවශ්‍ය නොවන සියලු අමෙරිකානුවන්ට එම කලාපයෙන් ඉවතවන ලෙස අමෙරිකාව පසුගියදා නියෝග කළේය.

මැදපෙරදිග කලාපය අස්ථාවර කරමින් ඉරාන න්‍යෂ්ටික මර්මස්ථාන වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක තිබේ.

පුවත්

ජනපති අනුර – ජර්මානු ආර්ථික සහයෝගීතා හා සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) මහත්මිය හමු වී සාකච්ඡා පැවැත්වීය. 

ගෝලීය නව ආර්ථික ප්‍රවණතා හමුවේ දෙරට මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර දෙරටෙහි ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ වූ  දීර්ඝ ඉතිහාසය සහිපත් කළ ජනාධිපතිවරයා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (Ceylon German Technical Training Institute (CGTTI) ) වැනි වෘත්තීය පුහුණු ආයතන වෙනුවෙන් සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජර්මනිය දැක් වූ දායකත්වය පිළිබඳ සිය කෘතඥතාව පළ කළේය. එම දායකත්වය හා උනන්දුව අනාගතයේදී අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සලසන තත්ත්වයක් කරා වර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ඊශ්‍රායලයේ හා ඉරානයේ සිටින ලාංකිකයන්ට නිවේදනයක්

Published

on

By

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ “ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටීයි. දෙරට අතර කටයුතු සාමකාමීව සිදු කරන ලෙසත්, සාකච්ඡාවල නිරතවන ලෙසත්, නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් අනුගමනය කරන ලෙසත් අපි ඉල්ලා සිටින්නෙමු,” ලෙසයි.

දෙරටේ තිබෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර දෙරටෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ද කටයුතු කරන බවද එහි දැක්වේ.

ඔවුන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් දූත මණ්ඩල මඟින් උපදෙස් ලබා දී ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Continue Reading

පුවත්

කාලගුණයෙන් රතු නිවේදනයක්

Published

on

By

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

හලවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.

අද (13) සවස 2.30ට නිකුත් කර ඇති මෙම රතු නිවේදනය හෙට (14) 2.30 දක්වා වලංගු වේ.

ඉහත ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසත් එම ප්‍රදේශවලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය විටින් විට පැ.කි.මී 60 -70 පමණ දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

මේ අතර ඉහත මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved