ප්‍රංශයේ නීස්හි පැවැති තුන්වන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට සමගාමීව සංවිධානය කර තිබු උත්සවයකදී දියත් කරන ලද අභිලාෂ සහිත සහ ඵලදායී ගෝලීය ප්ලාස්ටික් ගිවිසුමක් අරමුණු කරගත් ඉහළ මට්ටමේ ඉල්ලීමක් වන “නීස් මුලපිරිමට” ශ්‍රී ලංකාව නිල වශයෙන් සම්බන්ධ වී ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
ගෝලීය ප්ලාස්ටික් ගිවිසුම පිළිබඳ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුවේ සැසියට පෙර ප්‍රංශය විසින් සත්කාරකත්වය දරන ලද මෙම උත්සවයට, ජාත්‍යන්තර නායකයින් සහ විශේෂඥයින් සහභාගී වුහ.
ගෝලීය ප්ලාස්ටික් නිෂ්පාදනය අවම කිරීම, හානිකර රසායනික ද්‍රව්‍ය තුරන් කිරීම, තිරසාර නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ දුෂකයා විසින් වන්දි ගෙවිය යුතුය යන මුලධර්මය හරහා ලබා ගන්නා මූල්‍ය සහාය ඇතුළුව ක්‍රියාත්මක කිරීමේ ඵලදායී ක්‍රම සහතික කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ප්ලාස්ටික් නිෂ්පාදනයේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කරන ශක්තිමත් ජාත්‍යන්තර ගිවිසුමකට සහාය දෙන ලෙස “නීස් මුලපිරිම” රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම මුලපිරීම අනුමත කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය, පාරිසරික තිරසාරභාවය සඳහා රටේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරන අතර ගෝලීය නිෂ්පාදන පාලනයන්, වැඩිදියුණු කළ නිෂ්පාදන සැලසුම් ප්රමිතීන් සහ ප්‍රධාන ක්‍රියාත්මක කිරීමේ මෙවලමක් ලෙස දීර්ඝ කළ නිෂ්පාදක වගකීම ප්‍රවර්ධනය කිරීම ඇතුළු එහි ප්‍රමුඛතා සමඟ සමීපව පෙළ ගැස්විය හැක.
මෙම අනුමැතියත් සමඟ, ගෝලීය ප්ලාස්ටික් අර්බුදයට මුහුණ දීම සඳහා කාලයත් සමඟ පරිණාමය වන නීත්‍යානුකූලව බැඳී ඇති, විද්‍යාව පදනම් කරගත් සහ අභිලාෂ සහිත ගිවිසුමක් ඇති කර ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින රටවල් එක්වී පිහිටුවන සන්ධානයකට ශ්‍රී ලංකාව එක්වෙයි.