පුවත්

උතුරු – නැගෙනහිර බිම්බෝම්බ ඉවත්කරන්න ජපානයෙන් තවදුරටත් සහය

Published

on

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපන් රජය විසින් මැග් /Mines Advisory Group (MAG) ආයතනයට ඇමරිකානු ඩොලර් 648,148ක (ආසන්න වශයෙන් රු. මිලියන 232) මුදලක් ලබා දී ඇත.

මෙම ආධාර ප්‍රදානය සඳහා වන ගිවිසුම 2022 නොවැම්බර් මස 30 වෙනි දින කොළඹ පිහිටි ජපන් තානාපති නිල නිවහනේදී ජපන් තානාපති – මිසුකොෂි හිදයකි මහතා සහ මැග් ආයතනයේ ශ්‍රී ලංකාව භාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටි මැක්ලෙනන් මෙනවිය අතර අත්සන් කරන ලදී.

ජපන් ආධාර හරහා මෙය MAG විසින් ක්‍රියාත්මක කරන ලද 14 වැනි බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියයි. පෙර ව්‍යාපෘති 13 මගින් වර්ග මීටර් 2,965,949 කට අධික භූමි ප්‍රමාණයක් නිදහස් කර ඇති අතර බිම් බෝම්බ 15,831 කට වැඩි ප්‍රමාණයක් සහ අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය ඉවත් කර ඇත. මෙම නව ව්‍යාපෘතිය මගින් මන්නාරම, මුලතිව්, වවුනියාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල අතිරේක වර්ග මීටර් 259,464ක භූමි ප්‍රමාණයක් එළිපෙහෙළි කර, බිම්බෝම්බවලින් දූෂිත ප්‍රදේශ අභ්‍යන්තර අවතැන් වූවන්ට ආරක්ෂිත ඉඩම් බවට පත් කිරීම සහ සෘජුව හෝ වක්‍රව පුද්ගලයන් 7,424 දෙනෙකුගේ ජීවනෝපාය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

මෙම වසරේදී MAG විසින් ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු දියත් කර එහි 20 වැනි සංවත්සරය සනිටුහන් කළේය. 2002 වසරේ ශ්‍රී ලංකා බිම්බෝම්බ ක්‍රියාකාරී වැඩසටහන ආරම්භයේ සිට ජපානය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්ෂේත්‍රයේ ප්‍රධාන පරිත්‍යාගශීලියෙකි. බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘතිය (GGP) සඳහා වන ප්‍රදාන ආධාරය හරහා මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 43.3 කට වැඩි ආධාර ලබා දෙන ලදී. ‘පතල්වලින් තොර ශ්‍රී ලංකාවක්’ සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම වැඩසටහනට අඛණ්ඩව සහය දැක්වීමට ජපානය කැපවී සිටී.

මෙම ප්‍රදානය පිළිබඳව අදහස් දක්වමින් ක්‍රිස්ටි මැක්ලෙනන් මෙනවිය මෙසේ ප්‍රකාශ කළාය.

“ශ්‍රී ලංකාව තුළ සහ ලොව පුරා මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීම් ව්‍යාපෘති සඳහා ගෞරවනීය පරිත්‍යාගශීලියෙකු වන ජපන් රජයෙන් මෙම ප්‍රදානය ලැබීම ගැන MAG ඉතා ගෞරවයෙන් සලකනවා. පසුගිය වසර අට තුළ පමණක්, MAG ශ්‍රී ලංකා සහ ජපන් රජය අතර හවුල්කාරිත්වය හේතුවෙන් බිම් බෝම්බ 16,000 කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර විනාශ කිරීමට හැකි වී තිබේ. මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල එහි නිෂ්කාශන මෙහෙයුම් හරහා බොහෝ දෙනෙකුට නැවත පදිංචි වීමට සහ ඔවුන්ගේ ජීවිත සහ ජීවනෝපාය නැවත ගොඩනඟා ගැනීමට එය උපකාර වී තියනවා. ජපානයේ ජනතාවගෙන් ලැබෙන අරමුදල් ජීවිත බේරා ගැනීමට පමණක් නොව, බිම් බෝම්බවලින් පීඩාවට පත් වූ සහ රටේ දුප්පත්ම ප්‍රජාවන් සඳහා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමට ද දායක වෙනවා. මෙම අඛණ්ඩ ජපන් සහයෝගය සමඟින්, බිම්බෝම්බ වලින් නිදහස් වීමට ශ්‍රී ලංකා රජයේ කැපවීමට සහය දැක්වීම සඳහා රට තුළ බිම්බෝම්බ මුදා හැරීමේ අවසන් අදියර සඳහා නිෂ්කාශන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට MAG අපේක්ෂා කරනවා.”

Trending

Exit mobile version