පුවත්

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි(UPDATE)

Published

on

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණි.

මෙම නඩුව විභාග කළ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩුවෙන් ඉවත්වන බව අද පෙරවරුවේ දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

විනිසුරු සුජීව නිශ්ශංක මහතා ද සඳහන් කළේ, තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවය.

මෙම නඩුවට සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය මැයි මස 21 වන දා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවන ලෙසත් නියෝග කෙරුණි.

(පෙර පුවත 2025 මාර්තු 27 පෙ.ව.10.43)


ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත් වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන් ඉවත් වන බව අද (27) දැනුම් දුන්නේය.

සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් සම්බන්ධයෙන් මුහුණුපොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව තමන් එම තීන්දුව ගත් බවත් විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් විවෘත අධිකරණයේ අද දැනුම් දෙන ලදී.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවට යොමු කරන බවත් ඔහු විවෘත අධිකරණයේ කියා සිටියේය.

Trending

Exit mobile version