අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවගේ සහන වැඩපිළිවෙළට සහය වීම සඳහා ත්‍රිවිධ හමුදා සහන සේවා කණ්ඩායම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය පැවසුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු අඛණ්ඩව සිදු කරනු ලබයි.
අධික වැසි හේතුවෙන් කළු ගඟ, කැළණි ගඟ, අත්තනගලු ඔය සහ දැදුරු ඔය යන ප්‍රධාන හා අතු ගංඟා පිටාර මට්ටමට පැමිණීමෙන් කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර, ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන් කඩුවෙල, මාබිම, නවගමුව, ඉහළගම, ජා ඇල, නාත්තන්ඩිය යන ප්‍රදේශ වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් මහජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදු කරමින් සිටියි.
ඒ අනුව, ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවගේ දෛණික කටයුතු සිදු කිරීම සඳහා පුද්ගලයන් 641 දෙනෙකු වෙත ඩිංගි යාත්‍රා මඟින් ආරක්‍ෂිතව ප්‍රවාහන පහසුකම් සැලසීම, පුද්ගලයන් 4876 දෙනෙකු වෙත පිසූ හා වියළි ආහාර බෙදාහැරීම, ජීවිත අවධානමට පත්වී සිටි පුද්ගලයන් 03 දෙනෙකු මුදවා ගැනීම සහ මහජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
තවද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා බටහිර නාවික විධානය තුල අමතර ආපදා සහන කණ්ඩායම් විසි දෙකක් (22), දකුණු නාවික විධානය තුල නවයක් (09) සහ වයඹ නාවික විධානය තුල දාහතක් (17) වශයෙන් අමතර ආපදා සහන කණ්ඩායම් හතලිස් හයක් (48) නාවික හමුදාව සූදානමින් තබා ඇත.