Connect with us

පුවත්

ගාල්ල ජාතික රෝහලේ වරදින් තරුණයෙක්ට මරණය හිමිවූ බවට චෝදනා…

Published

on

රිය අනතුරකින් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කල තරුණයෙක් රෝහලෙන් කිසිදු ප්‍රතිකාරයක් නොලැබීම හේතුවෙන් මියගිය බවට ඥාතීන්ගෙන් එල්ල වූ චෝදනාව හේතුවෙන්, එම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම මහේස්ත්‍රාත්වරයා වෙත යොමුකිරීමට ගාල්ල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් ඊයේ (26) පියවර ගන්නා ලදී.

මියගිය පුද්ගලයා ගාල්ල, ගිංතොට පදිංචි අල්ජෝති චතුරංග සඳරුවන් නමැති 31 හැවිරිදි තරුණයෙකි.

ගිංතොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් පවත්වා‍ගෙන ගිය ඔහු පෙරේදා (25) දහවල් යතුරුපැදියෙන් මාතර දෙස සිට ගාල්ල දෙසට පැමිණෙමින් සිටිය දී හබරාදුවේ දී අනතුරට ලක්ව තිබිණි.

තුවාලකරු ගාල්ල ජාතික රෝහලට ඇතුළු කෙරුණු අතර එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ 58 වාට්ටුවට ඇතුළත් කර තිබේ.

මියගිය තරුණයාගේ සොහොයුරිය කියා සිටියේ තම සොහොයුරා අනතුරට ලක්ව ඇතැයි ලැබුණු තොරතුරකට අනුව පෙරේදා සවස 3.30ට පමණ මව සමඟ රෝහලට පැමිණෙද්දී සොහොයුරා ට්‍රොලියක හාන්සිකර තබා තිබූ බවය.

මලීෂා සඳමිණි නමැති ඇය වැඩිදුරටත් අදහස් දක්වමින්,

“අපි එනකොට අයියාගේ පිටතින් තුවාල කිසිම දෙයක් පෙනෙන්නට තිබුණේ නෑ. එයා හොඳට හිටියා.

ඒත් යටිබඩ ප්‍රදේශය ගොඩක් රිදෙනවා කියලා කිව්වා. ඒ ගැන වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට කිව්වත් ඔවුන් ඒක ගැන තැකීමක් කළේ නෑ. එයාලා කිව්වේ අයියාට අමාරුවක් නෑ කියලා. එක්ස්රේ එකක් අරගෙන බලනවා කියලා කිව්වා.

අයියා වේදනාව ඉවසගන්න බැරිව අවස්ථා ගණනාවක්ම රෝහලේ කාර්ය මණ්ඩලයට තමන්ට අමාරුයි කියලා කිව්වත් කිසිම කෙනෙක් එයාට ප්‍රතිකාර කරලා තිබුණේ නෑ.

ඊයේ (26) උදේ වෙනකල්ම අයියා ට්‍රොලියේ ඉඳලා තියෙන්නේ, එයාට වේදනාව ඉවසගන්නම බැරිව ට්‍රොලියෙන් බැහැලා රෝහලට ආපු ඇම්බියුලන්ස් එකක් ගාවට ගිහින් කියලා තිබෙනවා මේ අය මට බෙහෙත් දෙන්නේ නෑ, මාව පෞද්ගලික රෝහලකට ගෙනියන්න කියලා. ඒ වෙලාවේ රෝහලේ සේවකයන් එයාව නැවත ගිලන්රථයෙන් අරගෙන පුටුවක වාඩිකරවලා. ටික වෙලාවකින් මගේ අයියා ලේ වමනය කරලා එතනම මිය ගිහින්.

මේ මරණය සිදුවුණේ රෝහලේ දී නිසි ප්‍රතිකාරයක් නොලැබීම නිසා.”

මියගිය තරුණයාගේ මව ඩබ්ලිව්. ගුණවතී මහත්මිය පවසන්නේ, තම පුතා අසල තවත් තරුණයකු රාත්‍රියේ නවතා සිටි බවයි.

ඔහු කිහිප අවස්ථාවක දීම මෙම රෝගියාට අසාධ්‍ය බව කීව ද රෝහල් කාර්ය මණ්ඩලය එය නොතකා කටයුතු කර ඇති බවට ඇය චෝදනා කරයි.“මට මේ මියගිය පුතා සහ දුව විතරයි හිටියේ. පුතාගේ බිරිඳට දරුවෙක් ලැබිලා තවම දින 18යි.

මේක තනිකරම රෝහලේ වැරැද්ද,

පුතාගේ ස්කෑන් එකක් අරගෙන තියෙනවා. ඒ වෙලාවෙත් පුතා කියලා සිරුරේ යටිබඩ ප්‍රදේශය ස්කෑන් කරන්න කියලා. නමුත් එහෙම කරලා නෑ. උඩ කොටස විතරක් ස්කෑන් කරලා ප්‍රශ්නයක් නෑ කියලා.

ඊට පස්සේ වාට්ටුවට ගෙනාවම එයා ගාව හිටපු දරුවා මෙයාගේ ඇඳුම් මාරු කරද්දී දැකලා තියෙනවා මුත්‍ර මාර්ගය ආසන්නයේ ලේ ගලන තුවාලයක් තියෙනවා. ඒ බව හෙදියන්ට කිව්වම ගෝස් කෑල්ලක් තියලා වහලා. ඒ වෙලාවේවත් කිසිම බෙහෙතක් දීලා නෑ. මුත්‍රා සමඟ ලේ ගිහින්. ඉවසගන්න බැරි වේදනාවක් තිබිලා. ඒත් කවුරුවත් බලලා නෑ. උදේ පාන්දර ලේ වමනය දාලා මියගිහින්.

මගේ පුතා මැරුණේ රෝහලේ දී ඔහු ගැන නොසලකා සිටීම නිසා.” 

මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට යොමුකිරීමෙන් පසු ඒ පිළිබඳ අවශ්‍ය කරුණු සලකා බැලූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා එම පරීක්ෂණ කටයුතු මහේස්ත්‍රාත්වරයා වෙත යොමුකර තිබේ.

ඒ අනුව පසුගිය 25 සවස මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබූ අතර දේහය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.

පුවත්

කරාපිටියේ හෘද සැත්කම් නවතී

Published

on

By

ගාල්ල ජාතික රෝහලේ හෘද සහ උරස් කුහර ඒකකයේ දැනට සිටින විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයාගේ කොන්ත්‍රාත් කාලය මෙම 31 වන දායින් පසු නිමා වීමත් සමග දැනට කරන හෘද සැත්කම් නවතා දැමීමට සිදුවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

දැනට ගාල්ල ජාතික රෝහලේ මෙම ඒකකයේ ස්ථිර විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු නොමැති බවත් දැනට එහි සේවය කරනු ලබන්නේ කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් විශ්‍රාමික විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් ඉල්ලීම් සිදු කළද මේ දක්වාම කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීම නිසා මෙම තත්ත්වය උදා වී ඇත.

මෙම තත්ත්වය මත විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු නොමැති වීමෙන් සැත්කම් නතර කිරීම නිසා හෘද රෝගී ජීවිත දැඩි අවදානමකට පත්වන බව රෝගීන්ගේ ඥාතීහු පවසති.

රජය රාජකාරි වේලාවෙන් පසුවද ශල්‍යකර්ම සිදු කිරීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක නියමිත රාජකාරී කාලය තුළ ම ශල්‍යකර්ම නැවතීම බරපතළ ගැටලුවක් බව ඔවුහු පවසති.

රෝගී ජීවිත අවදානමකට ඇද නොදමා හැකි ඉක්මනින් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලබා දෙන ලෙස ඔවුහු වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් අප ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චයූ.එම්. රංගගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ මෙම තත්ත්වය මත ඉදිරියේදී හෘද සැත්කම් නතර කිරීමට සිදුව ඇති බවය.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading

පුවත්

කොකේන් කිලෝ 10ක් කටුනායකදී හසුවෙයි

Published

on

By

අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හා ගුවන්තොටුපොළ රේගු ඒකකයේ නිලධාරීන් එක්වී සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 10යි ග්‍රෑම් 323ක් සොයාගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි විදේශ ජාතිකයා අත්අඩංගුවට පත් වූ අතර සැකකරු වයස අවුරුදු 38ක් වන ඉතාලි ජාතිකයෙකි.

සැකකරු මෙම මත්ද්‍රව්‍ය ටෙඩිබෙයා(ර්) තුනක සඟවාගෙන රැගෙනවිත් තිබුණි.

Continue Reading

පුවත්

විදුලිය බිඳ වැටී ඇත්නම් දැනුම් දෙන්න

Published

on

By

කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක් හරහා ඊයේ (29) රාත්‍රියේ හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිද වැටීම් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.
 
එම බිඳ වැටීම් කඩිනමින් යථා තත්වයට පත් කිරීම සදහා කණ්ඩායම් යොමු කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා  කියා සිටියේය.
 
ඒ අනුව, එවැනි බිද වැටීම් තිබේනම් 1987 කෙටි අංකය ඔස්සේ හෝ සී ඊ බී ඇසිස්ට් (CEB Assist) ජංගම යෙදවුම හරහා දැනුම් දෙන ලෙස ද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved