රිය අනතුරකින් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කල තරුණයෙක් රෝහලෙන් කිසිදු ප්‍රතිකාරයක් නොලැබීම හේතුවෙන් මියගිය බවට ඥාතීන්ගෙන් එල්ල වූ චෝදනාව හේතුවෙන්, එම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම මහේස්ත්‍රාත්වරයා වෙත යොමුකිරීමට ගාල්ල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් ඊයේ (26) පියවර ගන්නා ලදී.
මියගිය පුද්ගලයා ගාල්ල, ගිංතොට පදිංචි අල්ජෝති චතුරංග සඳරුවන් නමැති 31 හැවිරිදි තරුණයෙකි.
ගිංතොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් පවත්වාගෙන ගිය ඔහු පෙරේදා (25) දහවල් යතුරුපැදියෙන් මාතර දෙස සිට ගාල්ල දෙසට පැමිණෙමින් සිටිය දී හබරාදුවේ දී අනතුරට ලක්ව තිබිණි.
තුවාලකරු ගාල්ල ජාතික රෝහලට ඇතුළු කෙරුණු අතර එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ 58 වාට්ටුවට ඇතුළත් කර තිබේ.
මියගිය තරුණයාගේ සොහොයුරිය කියා සිටියේ තම සොහොයුරා අනතුරට ලක්ව ඇතැයි ලැබුණු තොරතුරකට අනුව පෙරේදා සවස 3.30ට පමණ මව සමඟ රෝහලට පැමිණෙද්දී සොහොයුරා ට්‍රොලියක හාන්සිකර තබා තිබූ බවය.
මලීෂා සඳමිණි නමැති ඇය වැඩිදුරටත් අදහස් දක්වමින්,
“අපි එනකොට අයියාගේ පිටතින් තුවාල කිසිම දෙයක් පෙනෙන්නට තිබුණේ නෑ. එයා හොඳට හිටියා.
ඒත් යටිබඩ ප්‍රදේශය ගොඩක් රිදෙනවා කියලා කිව්වා. ඒ ගැන වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට කිව්වත් ඔවුන් ඒක ගැන තැකීමක් කළේ නෑ. එයාලා කිව්වේ අයියාට අමාරුවක් නෑ කියලා. එක්ස්රේ එකක් අරගෙන බලනවා කියලා කිව්වා.
අයියා වේදනාව ඉවසගන්න බැරිව අවස්ථා ගණනාවක්ම රෝහලේ කාර්ය මණ්ඩලයට තමන්ට අමාරුයි කියලා කිව්වත් කිසිම කෙනෙක් එයාට ප්‍රතිකාර කරලා තිබුණේ නෑ.
ඊයේ (26) උදේ වෙනකල්ම අයියා ට්‍රොලියේ ඉඳලා තියෙන්නේ, එයාට වේදනාව ඉවසගන්නම බැරිව ට්‍රොලියෙන් බැහැලා රෝහලට ආපු ඇම්බියුලන්ස් එකක් ගාවට ගිහින් කියලා තිබෙනවා මේ අය මට බෙහෙත් දෙන්නේ නෑ, මාව පෞද්ගලික රෝහලකට ගෙනියන්න කියලා. ඒ වෙලාවේ රෝහලේ සේවකයන් එයාව නැවත ගිලන්රථයෙන් අරගෙන පුටුවක වාඩිකරවලා. ටික වෙලාවකින් මගේ අයියා ලේ වමනය කරලා එතනම මිය ගිහින්.
මේ මරණය සිදුවුණේ රෝහලේ දී නිසි ප්‍රතිකාරයක් නොලැබීම නිසා.”
මියගිය තරුණයාගේ මව ඩබ්ලිව්. ගුණවතී මහත්මිය පවසන්නේ, තම පුතා අසල තවත් තරුණයකු රාත්‍රියේ නවතා සිටි බවයි.
ඔහු කිහිප අවස්ථාවක දීම මෙම රෝගියාට අසාධ්‍ය බව කීව ද රෝහල් කාර්ය මණ්ඩලය එය නොතකා කටයුතු කර ඇති බවට ඇය චෝදනා කරයි.“මට මේ මියගිය පුතා සහ දුව විතරයි හිටියේ. පුතාගේ බිරිඳට දරුවෙක් ලැබිලා තවම දින 18යි.
මේක තනිකරම රෝහලේ වැරැද්ද,
පුතාගේ ස්කෑන් එකක් අරගෙන තියෙනවා. ඒ වෙලාවෙත් පුතා කියලා සිරුරේ යටිබඩ ප්‍රදේශය ස්කෑන් කරන්න කියලා. නමුත් එහෙම කරලා නෑ. උඩ කොටස විතරක් ස්කෑන් කරලා ප්‍රශ්නයක් නෑ කියලා.
ඊට පස්සේ වාට්ටුවට ගෙනාවම එයා ගාව හිටපු දරුවා මෙයාගේ ඇඳුම් මාරු කරද්දී දැකලා තියෙනවා මුත්‍ර මාර්ගය ආසන්නයේ ලේ ගලන තුවාලයක් තියෙනවා. ඒ බව හෙදියන්ට කිව්වම ගෝස් කෑල්ලක් තියලා වහලා. ඒ වෙලාවේවත් කිසිම බෙහෙතක් දීලා නෑ. මුත්‍රා සමඟ ලේ ගිහින්. ඉවසගන්න බැරි වේදනාවක් තිබිලා. ඒත් කවුරුවත් බලලා නෑ. උදේ පාන්දර ලේ වමනය දාලා මියගිහින්.
මගේ පුතා මැරුණේ රෝහලේ දී ඔහු ගැන නොසලකා සිටීම නිසා.”
මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට යොමුකිරීමෙන් පසු ඒ පිළිබඳ අවශ්‍ය කරුණු සලකා බැලූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා එම පරීක්ෂණ කටයුතු මහේස්ත්‍රාත්වරයා වෙත යොමුකර තිබේ.
ඒ අනුව පසුගිය 25 සවස මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබූ අතර දේහය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.