Connect with us

පුවත්

ගුඩ් ෆුඩ් මැනේජර්ට වෙඩි තැබුවේ මෝදර නිපුන; අවන්හල හිමි ප්‍රංශ රූබන්ටයි

Published

on

මෝදර වීදියේ පිහිටි ගුඩ්ෆුඩ් රෙස්ටුරන්ට් නමැති අලෙවිසලේ කළමනාකරු‍ට පෙරේදා (13) වෙඩි තබා ඇත්තේ ඩුබායිහි සැඟව සිටින මත්කුඩු ජාවාරම්කරුවකු වන මෝදර නිපුනගේ කොන්ත්‍රාත්තුවකට අනුව යැයි පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති බව වාර්තා වේ.

පෙරේදා (13) රාත්‍රී කාලයේ අවන්හල ඉදිරිපිටදී වෙඩි තබා පලා ගිය පිරිස ගමන් කළ මෝටර් රථය ජා-ඇළ ඔතේ කැලේ වෙල්යායක් අසල අතහැර ගොස් තිබියදී පොලිසිය මේවන විට සොයාගෙන තිබේ.

අවන්හල ඉදිරිපිට සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වූ කොළඹ 14 මහවත්තේ පදිංචිකරුවකු වූ ආර්. උමේෂ් කන්නා (52) නමැති අවන්හල පවත්වාගෙන යන පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

ඔහුගේ දකුණු උරහිසට, බෙල්ලට හා පාදයකට වෙඩි වැදී ඇති බව සඳහන්ය.

වෙඩි තබා ඇත්තේ පිස්තෝලයකින් බවත්, වෙඩික්කරුවන්ව හඳුනාගෙන නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 

වෙඩි වැදුණු පුද්ගලයා එම අවන්හලේ කළමනාකරු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මඟින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ප්‍රංශය, එංගලන්තය සහ ඩුබායි යන රටවල සිටින මෙරට ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් අතර ඇති වී තිබෙන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බවට සැකකරන තොරතුරු රැසක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් වෙත ලැබී ඇති බවද පැවසේ.

බුද්ධි අංශ සඳහන් කරන්නේ මෙම අවන්හල පවත්වාගෙන යනු ලබන්නේ වෙඩි ප්‍රහාරයට ලක්වූ තැනැත්තා වුවත් මෙහි සැබෑ හිමිකරු ප්‍රංශයේ මේ වන විට රැඳී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයකු බව කියන ප්‍රංශ රූබන් බවය. 

ප්‍රංශ රූබන් සමඟ මත්කුඩු ජාවාරමේ නිතරව සිට මේ වන විට විරසක වී සිටින මෝදර නිපුන නමැත්තාගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

නිපුන නමැති මත්කුඩු ජාවාරම්කරු මේ වන විට සිටින්නේ ඩුබායිහි බව ද පැවසේ.

වෙඩි වැදුණු පුද්ගලයාගේ ඥාති සම්බන්ධයක් ඇති පුද්ගලයකු මත්කුඩු මිල දී ගෙන මුදල් නොගෙවා සිදු කළා යැයි කියන වංචාවක් මුල්කරගෙන මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරක් ද බුද්ධි අංශ වෙත ලැබී ඇතැයි “දිනමිණ” පුවත්පත වාර්තා කර ඇත.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved