සුපිළිපන්න රාජ්‍ය සේවයක් කරා පිය නැඟීමේ අපේක්ෂාව ඇතිව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2025 පෙබරවාරි 18 දින නිකුත් කරන ලද PS/SB/Circular/2/2025 චක්‍රලේඛයට අනුගත වෙමින් “පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයක්” ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් කටයුතු යොදා ඇත.
එසේ පිහිටවන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයෙන් අපේක්ෂිත ප්‍රධාන අරමුණු ලෙස ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතිය වර්ධනය කිරීම, ආයතනයේ සියලූම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම, ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම, විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදය සකස් කිරීම, සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම යන කරුණු දැක්විය හැකිය.
පාර්ලිමේන්තුවේ පිහිටුවන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානියා ලෙස කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පත්කොට ඇති අතර සුපිළිපන්න නිලධාරියා ලෙස ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩබ්ලිව්.කේ.ඩී.සී. විතාන මහතා පත්කොට තිබේ. පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් අභ්‍යන්තර කටයුතු ඒකකයේ සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරන අතර, සෑම දෙපාර්තමේන්තුවක්ම නියෝජනය වන ආකාරයෙන් සහාය කාර්ය මණ්ඩලයක් ද පත්කොට ඇත.
ඒ අනුව එම ඒකකයේ පළමු රැස්වීම 2025 ජූනි 06 දින එම ඒකකයේ ප්‍රධානී, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, ඒකකයේ ඉදිරි කටයුතු චක්‍රලේඛයේ විධිවිධාන වලට අනුව සිදු කළ යුතු ආකාරය එහිදී සාකච්ඡා කෙරිණි.