කටුනායක ගුවන්තොටුපොළේ අධි ආරක්ෂිතම ප්‍රදේශයක වැසිකිළියක් අසලින් පිස්තෝල උණ්ඩයක් ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයට හමුවී ඇත.
පිරිසුදු කිරීමේ සේවකයකු මෙම උණ්ඩය දැක පෙරේදා (25 වැනිදා) ආරක්ෂක අංශ වෙත භාර දී තිබේ.
ගුවන් මගීන් යානාවලට මාරුවන ආරක්ෂිත ප්‍රදේශයේ (Transit area) තිබී මෙය හමු වී තිබේ.
ගුවන් තොටුපළේ ඇති අධි ආරක්ෂිත ස්කෑනර් යන්ත්‍රවලින් එවැනි ඕනෑම ජීව උණ්ඩයක් පරීක්ෂාවට ලක්විය යුතු වුවත් මෙය දමාගිය ආකාරය තවමත් ගැටලුවක් බව ගුවන්තොටුපොළ නිලධාරීහු පවසති.
ගුවන් හමුදා බුද්ධි අංශය, රාජ්‍ය ඔත්තු සේවාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, යුද හමුදා බුද්ධි අංශ ඇතුළු සියලුම බුද්ධි ඒකකවල හා ගුවන් තොටුපොළ සඳහා වෙනමම කර්නල්වරයකු යොදවා ඇතත් මෙම උණ්ඩය ගැන හෝඩුවාවක් ලැබී නැත.
විදෙස් රටවලින් පැමිණෙන ගුවන් මගීන්ට මෙවැන්නක් ගෙන ඒමට නොහැකි බවත්, උණ්ඩය මෙරට ගුවන් තොටුපොළේ ආරක්ෂාවට යොදා ඇති සාමාජිකයකුගේ හෝ විය හැකි බවත් ආරක්ෂක අංශ සැක කරයි.