පුවත්

ජපානයෙන් හා UNDP වෙතින් තවත් ව්‍යාපෘති 2ක්

Published

on

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව ජීවනෝපායන් ඇතිකිරීමේ ව්‍යාපෘති දෙකක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය විසින් අද (24) දින අරලියගහ මන්දිරයේදී දියත් කරන ලදී.

පවතින සමාජ-ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට බරපතල බලපෑම් ඇති කර තිබේ. ඉහළ යන බලශක්ති පිරිවැය සහ වර්ධනය වන දේශගුණික විපර්යාස බලපෑම් හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර වී ඇත. ඊට ප්‍රතිචාර වශයෙන්, ජපාන රජය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන UNDP හරහා, වියළි කලාපීය දිස්ත‍්‍රික්කවල, එනම් උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත් දිස්ත‍්‍රික්කවල අවදානමට ලක්විය හැකි කුඩා පරිමාණ ගොවි පවුල්වලට ආධාර කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1,175ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 3.8ක්) ලබා දෙනු ඇත. කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීම සහ හරිත කෘෂිකාර්මික තාක්ෂණයන් අනුගමනය කිරීම කෙරෙහි එහිදී අවධානය යොමුකරනු ලැබේ.

ජපන් පරිපූරක අයවැය (JSB) මගින් මේ සඳහා අරමුදල් සපයනු ලබන අතර, ශ්‍රී ලංකා රජය සහ අදාළ පාර්ශවකරුවන් සමඟ එක්ව ක්‍රියා කරමින්, ව්‍යාපෘති දෙකක් හරහා එහි අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම මෙම මැදිහත්වීමෙහි අරමුණු වේ. එම අරමුණු නම්, ජීවනෝපායන් විවිධාංගීකරණය කිරීම සහ ව්‍යවසායකත්ව වැඩසටහන් හඳුන්වා දීම සහ කාන්තාවන් ප්‍රමුඛ ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඉලක්ක කරගෙන කටයුතු කිරීම සහ ග්‍රාමීය කෘෂිකාර්මික ආර්ථිකයේ පුනර්ජීවනය තුළින් නව්‍ය වෙළෙඳපොළ වෙත ප්‍රවේශය ලබාදීම ඔස්සේ බලශක්ති හා ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම, ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවන නවීන හරිත කෘෂිකාර්මික තාක්‍ෂණයන් සමඟින් අගය සහ සැපයුම් දාම වැඩිදියුණු කිරීම වේ.

කාන්තාවන් සහ තරුණ තරුණියන් 58,000 කට මෙම ව්‍යාපෘතිවලින් සෘජුවම ප්‍රතිලාභ ලැබෙනු ඇත. එයට අමතරව, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ සාමාජිකයින් 132,000 කට වැඩි පිරිසකට මෙමගින් වක්‍ර බලපෑමක් සිදුවේ.

Trending

Exit mobile version