ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර පාඨමාලා අංශයෙහි මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය වී ඇත.
එම විශ්වවිද්‍යාලයේ බාහිර පාඨමාලාවලට ගාස්තු අයකරන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රමවේදයක් විනිවිධ ලෙස දක්නට නොලැබෙන අතරම මෙලෙස ලබන සමස්ත ආදායම දේශකවරුන් අතර බෙදී යාමේ ක්‍රමවේදයක් නිරික්ෂණය වන බව ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය එදින කැඳවා තිබිණ.
එහිදී කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා මෙසේ පැවැසුවේය.
‘මේක රාජ්‍ය ආයතනයක්. අපි හිතන්නේ නැහැ මෙම ආයතනය ලාබ ලබන ආයතනයක් කියලා. නමුත් යම් මූල්‍ය තතත්ත්වයක් පවත්වාගෙන යායුතු බව ඇත්ත. ලාබ ලබන ආයතනයක් ලෙස නෙවෙයි මෙය තිබෙන්නේ.‘
එහිදී වැඩබලන විගණකාධිපතිවරයා
“ විශේෂයෙන්ම මෙහි ස්වයං පාඨමාලාවලට අදාළව 2024 වසර ගත්තම පාඨමාලාවලින් මිලියන 1,036ක ආදායමක් උපයා තිබෙනවා. බාහිර විභාග ඒකකය විතරක්. එහි වියදම ලෙස මිලියන 866ක් වැයවී තිබෙනවා. සමස්ත දේශන ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් ඊට ඇතුළත් වෙනවා. ඒ වගේම මේ සියලු වියදම්ද සමඟ මිලියන 156ක අතිරික්තයක් තිබෙනවා. 2024 වසර තුළ පාඨමාලා වියදම ලෙස මිලියන 878ක්. නමුත් මෙය මූළ්‍ය ප්රකාශනවල තිබෙන්නේ මිලියන 491ක් ලෙසයි. අනිත් කාරණය තමයි මේ මිලියන 878 ඇතුළේ වැඩි ප්‍රමාණයක් දේශන ගාස්තු. මේ දේශන ගාස්තු තුළ විශ්වවිද්‍යාලවල දේශන ගාස්තු අයකරන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රමවේදයක් හදුනාගන්නට නැහැ. අවසානයේ දී මේ පාඨමාලා හරහා උපයාගත් ආදායම්වලින් අද වනවිට 6,875ක ස්ථාවර තැන්පතු පවත්වාගෙන යනවා“