Connect with us

පුවත්

ජාතික ජන බලවේගයේ අවුරුදු සුබ පැතුම් පණිවිඩය

Published

on

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, උතුර දකුණ බටහිර නැගෙනහිර සියලු ජාතිකත්වයන්ට අයත් ජනතාව, භේද දුරලමින් ජනතාවාදී පාලනයක අවශ්‍යතාව සමග පෙළගැසෙමින් සිටින්නේ එම සුභ නැකත එළඹෙන තුරු බවත් රටටත් ජනතාවටත් සැබෑ ජයග්‍රහණ අත්පත් කර දෙන නව ජාතික පුනරුදයක් සඳහා වන ඓතිහාසික ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් වනු ඇතැයි සුභාශිංසන ගෙන එන බවයි.

අනුර දිසානායක මහතා ගේ සුබ පැතුම පහතින් දක්වා ඇත.

නව ජාතික පුනරුදයක් සඳහා වන ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් කරගනිමු!

ශ්‍රී ලාංකේය සිංහල සහ දෙමළ ජනතාව විසින් නව අවුරුදු උදාව නිමිති කර ගනිමින් උත්සවාකාරයෙන් සමරනු ලබන මහා සංස්කෘතික උළෙල මෙවර අප්‍රේල් 13 දිනට යෙදී තිබේ. සාම්ප්‍රදායික විශ්වාසය අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වෙමින් චක්‍රයක් සම්පූර්ණ කිරීම අනුව එළඹෙන අලුත් අවුරුදු උදාව සැමරීමට එක්වන සිංහල දෙමළ ජනතාවට අපි සුභාශිංසන එක්කරනු කැමැත්තෙමු.

අලුත් අවුරුදු උත්සවය නිවසේ ඇති ද්‍රව්‍යවල සිට ජන ජීවිතයට සම්බන්ධ සියලු අංගයන්හි අලුත් වීමක් හෝ අලුත් කර ගැනීමක් සමග බැඳී තිබෙනවා පමණක් නොව එය පෙරළා ජන ජීවිතයට සාධනීය ලෙස බලපාන සමාජ සංසිද්ධියක්ද වේ. කලක් පවත්වාගෙන පැමිණි අනවශ්‍ය දෑ ඉවත් කර ගේදොර මෙන්ම ජීවිතයද නැවුම් බවකින් පුරවා ගැනීමට එය ඉඩකඩ නිර්මාණය කරයි. එම නැවුම් බවට මෙතෙක් තමන් ආ ගමන දෙස අලුතින් සිතා බැලීමට කරනු ලබන පෙළඹවීමද ඇතුළත්ය.

පවතින ආර්ථික අර්බුදය තුළ ජනතාවගෙන් බොහෝ පිරිසකට නව අවුරුද්ද තම අපේක්ෂාව අනුව උත්සවාකාරයෙන් සැමරීම පිළිබඳව සිතීම පවා වේදනාකාරී අත්දැකීමක් විය හැකිය. එසේ වී ඇත්තේ චක්‍රයක් සම්පූර්ණ කරමින් අලුත් අවුරුද්ද උදා වූ නමුදු, පැවති හා පවතින පාලනයන් විසින් වසර 76ක් පුරා ලාංකේය සමාජය ජනතා අපේක්ෂා සුන් කරන එකම දුෂ්ට චක්‍රයක ගමන් කරවීම හේතුවෙනි. ලැබෙන පළමු මොහොතේම පවත්නා දුෂ්ට හා දූෂිත සමාජ ආර්ථික දේශපාලන චක්‍රයෙන් ඉවත් වී බංකොලොත් වී ඇති රට ඉන් ගොඩගන්නා වූ සහ දියුණු හා සාධාරණ සමාජයක් වෙත ඔසවා තබන්නා වූ ජනතාවාදී පාලනයක් තෝරා ගැනීමට එළඹි අලුත් අවුරුද්ද විසින් ඉඩහසර විවර කර ඇත. අලුත් අවුරුද්දේ ඇති කර ගන්නා වූ ප්‍රාර්ථනා සැබැවින්ම ඉටු වනු ඇත්තේ එවැනි තත්වයක් තුළ පමණි.

උතුර දකුණ බටහිර නැගෙනහිර සියලු ජාතිකත්වයන්ට අයත් ජනතාව, භේද දුරලමින් ජනතාවාදී පාලනයක අවශ්‍යතාව සමග පෙළගැසෙමින් සිටින්නේ එම සුභ නැකත එළඹෙන තුරුය. රටටත් ජනතාවටත් සැබෑ ජයග්‍රහණ අත්පත් කර දෙන නව ජාතික පුනරුදයක් සඳහා වන ඓතිහාසික ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් වනු ඇතැයි අපි සුභාශිංසනය කරමු.

පුවත්

රනිල්, රොනල්ඩ් ආවම අල්ලස් කොමිසමට එන්නම් කියයි!

Published

on

By

ලබන 25 වැනිදා පෙරවරු 9.30 ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණීමට හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසමට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සිය නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා විදෙස්ගතව සිටින බැවින් මෙම 27 වැනිදායින් පසුව කොමිසමට පැමිණීමට දිනයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිවරයා ලිඛිතව දැනුම්දී ඇත.

මීට පෙරද ඔහු කොමිසම හමුවට කැඳවා තිබුණද, අලුත් අවුරුදු සමය හේතුවෙන් ඊට සහභාගිවීමට නොහැකි බව හිටපු ජනාධිපතිවරයා එහිදී ලිඛිතව දැනුම්දී තිබිණි.

නැවත වරක් කොමිසම ඊයේ (21) හිටපු ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇත්තේ කොමිසම හමුවට පැමිණෙන ලෙසය.

පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක සම්බන්ධ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ ඊයේ (21) පැවැති රැස්වීමකදීද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ සිය නීතිඥයා විදෙස්ගතව සිටින බැවින් ඔහු මෙරටට පැමිණි පසුව කොමිසම හමුවට යන බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පොලීසියෙන් දැනුම්දීමක්

Published

on

By

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව, මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇත.

“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි.

මෙහි සඳහන් කරුණු කිසිදු නෛතික පදනමක් නොමැති එකිනෙකට නොගැලපෙන වචන භාවිතා කර පසුබිමින් ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ ලාංඡනය හා ශ්‍රී ලංකා පොලිස් නිල ලාංඡනයට සමාන ලෙස ලාංඡන මුද්‍රණය කර සකස් කර ඇති බවට ද නිරීක්ෂණය වී ඇති පොලීසිය නිවේදනය කරයි.

මෙම ලිපිය යොමු කරන ලද ආයතනය ලෙස සඳහන් “Cyber Crime Headquarters Colombo, Sri lanka” නමින් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ නොවන අතර මෙහි දක්වා ඇති තනතුරු හෝ කරුණු ශ්‍රී ලංකා පොලීසිය මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද, අසත්‍ය හා විකෘති කරන ලද කරුණු බවට ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත දන්වා සිටී.

මෙය හිතාමතාම ඉතා සැලසුම් සහගත ලෙස ශ්‍රී ලංකා පොලීසිය අපහසුතාවයට පත් කිරීම හා මහජනතාව නොමග යැවීම අරමුණු කරගෙන සකස් කරන ලද ලිපියක් බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading

පුවත්

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි!

Published

on

By

නව විගණකාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේදී අද (22) රැස්වීමට නියමිතය.

මෙම තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා ඇතුළු කිහිප දෙනකුගේ නම් ඉදිරිපත්ව ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයා නව විගණකාධිපතිවරයා ලෙස පත් කරන්නැයි එහි අංශ ප්‍රධානීන්ගේ සංසදය සහ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

විගණකාධිපති තනතුර සඳහා මේ වන විට විවිධ පුද්ගලයන්ගේ නම් ඉදිරිපත් වී ඇති බව දැන ගැනීමට ලැබී ඇති නමුත් වංචාව හා දූෂණයෙන් තොර පිරිසුදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම සඳහා වූ රජයේ අපේක්ෂාව ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය විගණන ක්‍රියාවලියට පැවරී ඇති වගකීම ඉටු කිරීමට සුදුසුකම් සහිත නිලධාරියා වත්මන් වැඩ බලන විගණකාධිපතිවරයා යැයි තරයේ විශ්වාස කරන බවත් එම ඉල්ලීම්වල සඳහන් කර ඇත.

පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ සේවයේ නියුතු සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට ප්‍රමුඛතාව ලබා දීම මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූ බව සිහිපත් කරන එම වෘත්තීය සමිති ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයා ව්‍යවස්ථානුකූල සියලු සුදුසුකම් මෙන්ම එම තනතුර දැරීම සඳහා අවශ්‍ය සියලු අත්දැකීම් හා පළපුරුද්ද හා පරිචයන් සම්පූර්ණ කර සිටින බවත් සඳහන් කරයි.

මෙම නිලධාරීන් පෙන්වා දෙන්නේ බාහිර තැනැත්තෙක් එම තනතුරට පත් කිරීමෙන් රජය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පළුදු විය හැකි බවය.

අංශ ප්‍රධානීන්ගේ සංසදයට අංශ ප්‍රධානීහු හැට පස් දෙනෙක් අයත් වන අතර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, රාජ්‍ය සහකාර විගණන අධිකාරී සංගමය සහ රජයේ විගණන නිලධාරී සංගමය යන වෘත්තීය සංගම් අයත් වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved