පුවත්

ජාතික විදුලි පද්ධතියට තවත් මෙගාවොට් 650ක් අහිමිවීමේ අවදානමක

Published

on

ජාතික විදුලි පද්ධතියට තවත් මෙගාවොට් 650කට ආසන්න ප්‍රමාණයක් අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි විදුලි බල කේෂත්‍ර ආරංචි මාර්ගවලින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ කුඩා විදුලි බලාගාර, සුළං, සුර්ය බල හා අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය කරණය හරහා විදුලිය උත්පාදනය කරණ සමාගම් විසින් ජාතික පද්ධතියට ලබාදුන් විදුලිය ඒකක සඳහා වසරකින් විදුලිබල මණ්ඩලය විසින් මුදල් ගෙවීම් සිදුකර නොමැති වීම නිසාය.

මේ වන විට එසේ ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 35ක් බව වාර්තා වේ.

එම ආයතන සඳහා අවසන් වරට ගෙවා ඇත්තේ 2021 වසරේ දෙසැම්බර් මාසය සඳහාය.

කෙසේවුවද, ඔවුන් සමඟ විදුලිය මිලදී ගැනීමට අත්සන් කර ඇති ගිවිසුමට අනුව විදුලිය මිලදී ගන්නා සෑම මසකදීම ගෙවීම් පියවිය යුතු වන අතර එසේ ගෙවීම් පියවීම සිදු නොකළහොත් ඒ සඳහා පොලියක් ගෙවිය යුතු වේ.

එම පොලිය පවතින පොලී අනුපාත මත තීන්දු කිරීමට ද අදාල ගිවිසුමෙන් විදුලි බල මණ්ඩලය එකඟව සිටී.

මේ අතර, වහලය මත සවිකරණ රද සූර්ය බල පද්ධති වෙනුවෙන් අවසන් වරට ගෙවා ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වා පමණක් බවද වාර්තා වේ.

අදාළ තත්ත්වයන් හේතුවෙන් බැංකු ණය මත ඉදිකර ඇති ඇතැම් ව්‍යාපෘති මේවන විට පවත්වාගෙන යාමට නොහැකිව බරපතල අර්බුදවලට මුහුණ දී සිටින බව ද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඇතැම් සමාගම් එම ව්‍යාපෘති නඩත්තු කිරීමේ එදිනෙදා වියදම් දරණු ලබන්නේ 32% පොලී අනුපාතයට ණය ලබාගනිමින් බවද පැවසේ.

Trending

Exit mobile version