Connect with us

පුවත්

ටෝකියෝ සමාගම හා ඩග්ලස් දේවානන්ද බිම් අක්කර 3000 ක් බලෙන් අත්පත් කරගනී

Published

on


ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ගේ දේශපාලන රැකවරණය මත ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ප්‍රාදේශීයලේකම් කොට්ඨාශයට අයත් පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 3000 ක් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන හුණු ගල් කැනීම් කර සිමෙන්ති නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමට සූදානම් වේ. වගා බිම්, කලපු, කඩොලාන පද්ධති, ලවණවගුරු බිම් හා වනාන්තර ඇතුළු අක්කර 3000 ක භූමි ප්‍රදේශයක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට සැලැසුම් කර තිබේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර තිබේ.

කෘෂිකර්මාන්තයේ, ධීවර කර්මාන්තයේ හා සත්ව පාලනයේ නිරත ජනතාව ගේ භූමි ප්‍රදේශ බලහත්කාරයෙන් අත්පත් කර ගෙන, එම ජනතාව අවතැන් කර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. ව්‍යාපෘතිය සඳහා කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැති නමුත් කර්මාන්තශාලාව හා කාර්යාල සංකීර්ණය ඉදි කිරීම සඳහා මුල්ගල තැබීම ද සිදු කර ඇත.

සිමෙන්ති නිෂ්පාදනයට භාවිත කෙරෙන ප්‍රධාන අමුද්‍රව්‍ය වන හුණුගල් ලබා ගැනීමට අවශ්‍ය ගවේශන කටයුතු සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් මාස 24 ක වලංගු කාලයක් සහිත ව EL/213/R/3 අංක දරන ඛණිජ ගවේශන බලපත්‍රයක් 2012 ජූලි මස 20 වන දින නිකුත් කර තිබේ. මෙම බලපත්‍රය භාවිත කර ටෝකියෝ සමාගම විසින් පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම්වල ව්‍යාපෘති ප්‍රදේශය සම්පූර්ණයෙන් ම ආවරණය වන පරිදි භූගත විදුම් 150 ක් පමණ සිදු කර ගවේශන කටයුතු සිදු කර ඇත. ජනතාව ගේ කුඹුරු ඉඩම් හා ලවණ වගුරු බිම් ආවරණය වනපරිදි භූගත විදුම් සිදු කර හුණුගල් ලබා ගත හැකි ප්‍රදේශ හඳුනාගෙන තිබේ. එහි දී ජනතාවට මෙම භූගත කැනීම් හා සම්බන්ධ තොරතුරු සහ සිමෙන්ති කර්මාන්තශාලාවට අදාළ තොරතුරු සැඟවීමට ද ටෝකියෝ සමාගම හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කටයුතු කර ඇත.

මෙම ඛණිජ ගවේශන කැනීම් අතරතුර කර්මාන්තශාලාව ඉදි කිරීම සඳහා පොන්නාවලී හා වේරවිල්ලු ප්‍රදේශයේ නාගමුනෙයි, වලෙයිපාඩු අතර භූමිය අත්පත් කර ගෙන ඇති අතර ඒ සඳහා මූලික ඉදි කිරීම් කටයුතු සිදු කිරීම ද අවසන් කර තිබේ.

ටෝකියෝ සමාගමෙන් අහිමි කරන ජන ජීවිතය

මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට නියමිත පොන්නාවලී ග්‍රාම නිලධාරී වසමේ පිහිටි පාලාවි, වලෙයිපාඩු, පොන්නාවලී හා වේරවිල් ගම්මානවල පවුල් 1300 ක් පමණ හා කිරාංචි ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මොට්ටයන්කුලම්, සිවපුරම්, කිරින්දාවනම් හා කිරාංචි ගම්මානවල පවුල් 1800 ක් පමණ ජීවත් වේ. පාලාවි, පොන්නාවලී, වේරවිල්, මොට්ටයන්කුලම් හා සිවපුරම් යන ගම්මානවල ජනතාව ප්‍රධාන වශයෙන් ම කෘෂිකර්මාන්තයේ නිරතවේ. වලෙයිපාඩු, පාලාවි හා කිරින්දාවනම් ගම්මානවල ජනතාව ධීවර කර්මාන්තයේ වැඩි වශයෙන් නිරත වන අතර පොල් වගාව ද සිදු කරයි. පොන්නාවලී, වලෙයිපාඩු හා වේරවිල් යන ගම්මානවල ජනතාව සත්ත්ව පාලනයේ වැඩි වශයෙන් නිරත වේ.

කෘෂි කර්මාන්තයේ නිරත ජනතාව මහ කන්නයේ වී ගොවිතැන සිදු කරන අතර ගොඩ බෝග වශයෙන් ලූණු, කෙසෙල්, මඤ්ඤොක්කා, මෑකරල්, බටු, රටකජු, උදු වැනි බෝග වගා කරයි. ඊසානදිග මෝසම් සුළං මගින් වර්ශාව ලැබෙන මෙම ප්‍රදේශයේ මහ කන්නයේ දී වැසි ජලයෙන් වී ගොවිතැන සිදුකෙරේ. ධීවර කර්මාන්තයේ නිරත ජනතාව කලපු ආශ්‍රිත ව අපනයනය සඳහා මුහුදු කූඩැල්ලන් හා මුහුදු පාසි වගාව සිදු කරන අතර මාලුන් හාකකුළුවන් ද අපනයනය සඳහා ඇල්ලීම සිදු කරයි. කලපුව ආසන්නව සුළුපන්න ධීවරයන් හා ටෝලර් යාත්‍රා මගින් මුහුදු ධීවර කර්මාන්තයේ නිරත පිරිස්ද සිටී. සත්ව පාලනයේ නිරත ජනතාව ප්‍රධාන වශයෙන් ම කිරි ගවයන් හා එළුවන් ඇති කිරීම සිදු කරයි. මෙම ප්‍රදේශයේ කිරි ගවයන් 20,000 ක් පමණ  හා එළුවන් 10,000 ක් පමණ සිටී.

කෘෂි කර්මාන්තයේ නිරත ජනතාව මහ කන්නයේ වී ගොවිතැන සිදු කරන අතර ගොඩ බෝග වශයෙන් ලූණු, කෙසෙල්, මඤ්ඤොක්කා, මෑකරල්, බටු, රටකජු, උදු වැනි බෝකෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය හා සත්ව පාලනය සිදු කෙරෙන මෙම ප්‍රදේශයේ ජනතාව සශ්‍රීක ජන දිවියක් ගත කරන අතර ගැටළුවකින් තොරව ජන දිවිය පවත්වා ගෙන යයි. ඔවුන්ට ඇති එක ම ගැටළු ව භූගත ජලය ලවණීකරණය වීම නිසා ජලය මිල දී ගැනීමට සිදු වීම ය. මෙම ප්‍රදේශයේ ජනතාව කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම් හා වෙරළබඩ වනාන්තර ප්‍රදේශ මෙන් ම ගම්මානය වටා පිහිටි වනාන්තර පද්ධතිය ආරක්ෂා කරගෙන ඇත්තේ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති නිසා නොව ඔවුන් ගේ අවබෝධයෙන් ම මෙම පරිසර පද්ධති සියල්ල අනාදිමත් කාලයක් තිස්සේ ආරක්ෂා කර තිබේ. මෙම ප්‍රදේශයේ අලි – ඇතුන් ජීවත් වුව ද අලි – මිනිස් ගැටුමක් වාර්තා නොවීමට පරිසර පද්ධති ආරක්ෂා වී පැවතීම ප්‍රධාන හේතුව වී ඇත.

නමුත් මෙම ව්‍යාපෘතියත් සමඟ එම තත්ත්වයන් සම්පූර්ණයෙන් ම වෙනස් වී වනාන්තර, කලපු, ලවණ වගුරු බිම්, වගා බිම් ඇතුළු සමස්තය විනාශයට ලක් වී ජන දිවියේ විශාල බිඳ වැටීමක් සිදු වනු ඇත.

සිමෙන්ති නිෂ්පාදනය සඳහා ලවණ වගුරු බිම් ආශ්‍රිත හුණු ගල් කැනීම හේතුවෙන් දැවැන්ත වලවල් සැකසෙන අතර ඒවා ලවණ ජලයෙන් පිරීයාමෙන්භූගත ජලය ලවණීකරණය වීම වර්ධනය වීම නිසා ඒ ආශ්‍රිත සමස්ත ප්‍රදේශයේ ම භූගත ජලය ලවණීකරණය වීම නිසා වගා බිම් විනාශ වී ඒ හාබැඳුණු ජන දිවිය සම්පූර්ණයෙන් ම බිඳ වැටෙනු ඇත.

සත්ත්ව පාලනයේ නිරත ජනතාව, කිරි ගවයන් ගේ හා එළුවන් ගේ ආහාර බිම් ලෙස ලවණ වගුරු බිම් හා ඒ ආශ්‍රිත තෘණ භූමි භාවිත කරයි. මේසියලු බිම් හුණු ගල් කැනීම සඳහා යොදා ගත් පසු ව මෙම ප්‍රදේශයේ සත්ත්ව පාලනය හා බැදුණු ජන දිවිය සම්පූර්ණයෙන් ම බිඳ වැටෙනු ඇත. එපමණක් නොව මෙම ප්‍රදේශයේ වනාන්තර ඇතුළු භූම් ප්‍රදේශ මෙම ව්‍යාපෘතිය සඳහා එළි පෙහෙළි කිරීමත් සමඟ අලි – ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වීම හා සීමා වීමෙන් මෙම ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම ද අලුතින් නිර්මාණය වී ජන දිවිය බිඳ වැටෙනු ඇත.

ග වගා කරයි. ඊසානදිග මෝසම් සුළං මගින් වර්ශාව ලැබෙන මෙම ප්‍රදේශයේ මහ කන්නයේ දී වැසි ජලයෙන් වී ගොවිතැන සිදුකෙරේ. ධීවර කර්මාන්තයේ නිරත ජනතාව කලපු ආශ්‍රිත ව අපනයනය සඳහා මුහුදු කූඩැල්ලන් හා මුහුදු පාසි වගාව සිදු කරන අතර මාලුන් හාකකුළුවන් ද අපනයනය සඳහා ඇල්ලීම සිදු කරයි. කලපුව ආසන්නව සුළුපන්න ධීවරයන් හා ටෝලර් යාත්‍රා මගින් මුහුදු ධීවර කර්මාන්තයේ නිරත පිරිස්ද සිටී. සත්ව පාලනයේ නිරත ජනතාව ප්‍රධාන වශයෙන් ම කිරි ගවයන් හා එළුවන් ඇති කිරීම සිදු කරයි. මෙම ප්‍රදේශයේ කිරි ගවයන් 20,000 ක් පමණ  හා එළුවන් 10,000 ක් පමණ සිටී.

ටෝකියෝ සමාගම වනසන ජෛව පද්ධති

මෙම ව්‍යාපෘතියට ලබා ගැනීමට නියමිත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හෙක්ටයාර 227 ක් (අක්කර 568 ක්) පමණ වන වීරවන්ඩියන්මුනෙයි රජයේ වනාන්තරය පිහිටා තිබේ. මෙම වනාන්තර පද්ධතිය වෙරළබඩ වනාන්තර තීරය සමඟ මෙන් ම කලපු ආශ්‍රිත කඩොලාන හා සම්බන්ධ ව පවතී. මෙම සමස්ත ප්‍රදේශයේ ම අලි – ඇතුන් ජීවත් වේ. මේ ප්‍රදේශයේ පිහිටි වීරපාන්ඩියන්මුනෙයි කලපුව, නාගමුනෙයිකඩොලාන පද්ධතිය, කෝවිල්කඩ ලවණ වගුරු බිම් පද්ධතිය තුළ කලපු හා නොගැඹුරු මුහුදු සීමාවේ ජීවත් වන මත්ස්‍යයන් ඉස්සන් හා කකුළුවන් ගේබෝවීම සිදු වේ. එපමණක් නොව මෙම ලවණ පරිසර පද්ධති සංක්‍රමණික පක්ෂි විශේෂවල ප්‍රධාන ගොදුරු බිමක් වේ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වැඩි මලවණ වගුරු බිම් හා කඩොලාන වනාන්තර ව්‍යාප්ත ව ඇත්තේ මෙම ප්‍රදේශයේ ය.

කලපු ආශ්‍රිත කඩොලාන පරිසරයේ මණ්ඩ (Avicennia marina), බෑරිය (Lumnitzera racemosa), කඩොල් (Rhizophora mucronata), මල් කඩොල් (Bruguiera gymnorrhiza), ඇවරි කඩොල් (Aegiceras corniculatum) වැනි සත්‍ය කඩොලාන ශාක දැකගත හැකි ය. මෙම කලපු හා ලවණ වගුරු බිම්වල නේවාසික හා සංක්‍රමණික පක්ෂි විශේෂ රැසක් වාර්තා වේ. උස්වටුවා (Grey Francolin), පඬුතාරාවා (Ruddy Shelduck), දෙතිත් තාරාවා (Indian Spot-billed Duck), මට්ටිකාවා (Eurasian Oystercatcher), කකුළු ඔලෙයියා(Crab Plover), ඇවසෙට්ටා (Pied Avocet), අළු ඔලෙයියා (Grey Plover), කැස්පියානු ඔලෙයියා (Caspian Plover), දාර මහවටුවා(Bar-tailed Godwit), දෑතුඩු වටුවා (Whimbrel), මහ දෑතුඩු වටුවා (Eurasian Curlew), පා රතු පුල්ලි සිලිවටුවා (Spotted Redshank), රතු මහ සිලිවටුවා (Red Knot), වැලි කිරලා (Indian Courser) වැනි පක්ෂි විශේෂ රැසක් වාර්තා වේ. ලංකාවට බටහිර සංක්‍රමණික මාර්ගය ඔස්සේ පැමිණෙන පක්ෂි විශේෂ මෙම කලපු හා ලවණ වගුරු වෙත පැමිණෙන්නේ මේවායේ ජීවත්වන කුඩා කෘමි සතුන් හා මසුන් ආහාරයට ගැනීමට ය. ඒ අනුව සංක්‍රමණික පක්ෂීන් ගේ ප්‍රධාන ගොදුරු බිම් ලෙස මෙම ප්‍රදේශය ක්‍රියාත්මක වේ.

ටොකියෝ සමාගමේ යෝජිත සිමෙන්ති කර්මාන්තශාලාව සඳහා අමුද්‍රව්‍යය ලෙස හුණු ගල් ලබා ගැනීමට නියමිත ව ඇත්තේ මෙම ලවණ වගුරු බිම් කැනීමෙනි. මීට අමතර ව නාගමුනෙයි, වලෙයිපාඩු ප්‍රදේශයේ ස්ථාපිත කරන කර්මාන්තශාලාවේ අප ජලය බැහැර කිරීමට නියමිත ව ඇත්තෙ කෝවිල්කඩ ලවණ වගුරු බිම් පද්ධතිය හරහා සකස් කරන ඇළ මාර්ගයක් ඔස්සේ නාගමුනෙයි කඩොලාන පද්ධතිය ආශ්‍රිත වීරපාන්ඩියන්මුනෙයි කලපුවට ය. මේ හේතුවෙන් කඩොලාන, ලවණ වගුරු හා කලපු පද්ධතිය සම්පූර්ණයෙන් ම මෙම ව්‍යාපෘතියත් සමඟ ම විනාශයට ලක් වනු ඇත.

ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගම (Tokyo Cement Company Lanka PLC) 1982 වසරේ දී ජපානයේ මිට්සුයි කැනීම් සමාගම හා ශ්‍රීලංකාවේ සෙන්ට් ඇන්තනීස් කොන්සොලිඩේටඩ් සමාගම හා එක් ව ආරම්භ කරනු ලැබූ සමාගමකි. මෙම සමාගම ISO 14001පරිසරකළමනාකරණ පද්ධති සහතිකය, ISO 9001 ප්‍රමිති කළමනාකරණ පද්ධති සහතිකය සහ නිෂ්පාදන ක්‍රියාවලියේ පරිසර හිතකාමී බව සඳහා වනහරිත සළකුණ හිමි කර ගත් පළමු සමාගම ලෙස ද සඳහන් වේ. එපමණක් නොව මෙම සමාගම කොරල්පර ප්‍රතිස්ථාපනය, කඩොලාන නැවත වගාකිරීම ඇතුළු ව්‍යාපෘති සඳහා මුදල් යොදවන අතරතුර කඩොලාන ඇතුළු දැවැන්ත ලවණාශ්‍රිත තෙත්බිම් පද්ධතියක් විනාශ කිරීමට වේරාවිල්, පොන්නාවලී, ඒකාබද්ධ සිමෙන්ති කර්මාන්තශාලා ව්‍යාපෘතිය (Integrated cement plant project) ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම එකිනෙකටපරස්පර විරෝධී තත්ත්වයන් ය.

ටෝකියෝ සමාගම පරිසර නීති උල්ලංඝනය කිරීම

ටෝකියෝ සමාගමට හෝ වෙනත් ඕනෑ ම සමාගමකට තම අභිමත බලය හෝ දේශපාලන බලය භාවිත කර ජනතාව ගේ ව්‍යවස්ථාධායක බලය මත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇති අණ පනත් උල්ලංඝනය කර ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ නොහැකි ය. ඕනෑ ම ආයෝජන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ යුතු වන්නේ මෙරට නීති රීති හා ප්‍රතිපත්තීන්ට එකඟ ව ය. ඒ අනුව සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට (අක්කර 2.5) වඩා වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර හෝ හෙක්ටයාර 50 (අක්තර 125) කට වඩා වැඩි භූමි ප්‍රදේශ එළිපෙහෙළි කර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් හෝ මීටර 25 කට වඩා ගැඹුර ඛණිජ කැනීම් සිදු කරන්නේ නම් හෝ නිවාස හෝ වාණිජ ප්‍රදේශයකින් කිලෝමීටරයක් ඇතුළත හුණුගල් යන්ත්‍රානුසාරයෙන් ලබා ගැනීම සිදු කරන්නේ නම් හෝ සිමෙන්ති නිෂ්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙම ක්‍රියා පටිපාටියේ දී ව්‍යාපෘතිය සඳහා ඇති වෙනත් විකල්ප පිළිබඳ ව අධ්‍යයනය කිරීම, මහජන අදහස් ලබා ගැනීම, සියලූ ම සමාජ, ආර්ථික හා පාරිසරික බලපෑම් අධ්‍යයනය කිරීම ඇතුළත් ව මෙය සිදු වියයුතු අතර මේ ක්‍රියා පටිපාටියෙන් පරිභාහිර ව කිසිදු රාජ්‍ය ආයතනයකට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදිය නොහැකි ය.

ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීතිවිරෝධී ව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී ඒ සම්බන්ධයෙන් පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකටම යටත් කළ හැකි ය.

ජාතික පාරිසරික පනතට අමතර ව සංශෝධිත 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව අර්ථනිරූපනය කර ඇති වෙරළ කලාපය තුළ මෙම වාපෘතිය ක්‍රියාත්මක වේ. මෙම පනතට අනුව වෙරළ කලාපය යනු මධ්‍ය වඩදිය ඉමේ සිට ගොඩබිම දෙසට මීටර තුන්සියයක සීමාවක් සහ මධ්‍ය බාදිය ඉමේ සිට මුහුද දෙසට කිලෝමීටර දෙකක සීමාවක් ඇතුළත පිහිටි ප්‍රදේශය අදහස් වන අතර ස්ථිර වශයෙන් හෝ කලින් කල මුහුදට සම්බන්ධ වූ ගංඟා, දිය පාරවල්, කලපු හෝ වෙනත් යම් ජල කඳක් සම්බන්ධයෙන් වන විට, ගොඩබිම දෙසට වූ මායිම ඒවායේ ස්වාභාවික ඇතුළුවීමේ ලක්ෂ්‍ය අතර අදින ලද සෘජු පාදක රේඛාවකට ලම්බක ව මනින ලද කිලෝමීටර දෙකක සීමාවකට ව්‍යාප්තවිය යුතු අතර, එසේ මුහුදට සම්බන්ධ වූ ඒ ගංඟා, දිය පාරවල් සහ කලපු හෝ වෙනත් යම් ජල කඳක් සහ මායිම දිගේ ශුන්‍ය මධ්‍ය මුහුදු මට්ටමේ සිට ගොඩබිම දෙසට මීටර සියයකින් දීර්ඝ කළ වැඩිදුර සීමාවක් ඇතුළත් වූ ප්‍රදේශය වේ.

ඒ අනුව මෙම ව්‍යාපෘතියට අදාළ හුණු ගල් කැනීම හා අප ජලය බැහැර කිරීම වෙරළ කලාපය තුළ සිදු වේ. මෙම පනතේ 14(1) උප වගන්තියට අනුවවෙරළ කලාපය තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බැවින් මෙම පනතට අනුව ද පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම් ව ඒ සඳහා අවසර ලබා ගත යුතු ය. පනතේ 26අ උප වගන්තියට අනුව වෙරළ කලාපයට හානියක් සිදු වන ආකාරයෙන් සංවර්ධන කටයුත්තක නිරත වන අයට එරෙහිව විධාන නිකුත් කිරීමේ බලය වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇත.

මෙම පනත්වලට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වගන්තිවලට අනුව 2000 ඔක්තොම්බර් 4 වනදින අංක 1152/14 දරන ගැසට් නිවේදනය යටතේ ප්‍රකාශිත 2000 අංක 1 දරන ව්‍යාපෘතිවල කාර්ය පටිපාටි නියෝගවලට අනුව කර්මාන්ත සඳහා හෙක්ටයාර එකකට වඩා වැඩි භූමි ප්‍රදේශ එළිපෙහෙළි කිරීම හෝ ඛණිජ ලබා ගැනීම සඳහා සිදු කරන පතල් කැනීම් සිදු කිරීමට ප්‍රථම පුරා විද්‍යාහානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය.

නමුත් මේ නීති රීති සියල්ල ම උල්ලංඝනය කරමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට බලහත්කාරය හා නීතිවිරෝධී යාන්ත්‍රණය හඳුන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පාලන සමයේ දී ය. එම ක්‍රියා කලාපය ඒ ආකාරයෙන් ම පූර්වාදර්ශ කරගනිමින් මෙම ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරයි. ඔහු ගේ පාලන සමය තුළ ක්‍රියාත්මක කළ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය, මාගම්පුරවරාය ව්‍යාපෘතිය හා මත්තල දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොල ව්‍යාපෘතිය යන සියලු ව්‍යාපෘති සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තා සකස්කෙරුනේ නීති විරෝධී ආකාරයෙනි. එම ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගත්තේ ද මධ්‍යම පරිසර අධිකාරියට බලපෑම් කර බලහත්කාරයෙනි. එහිප්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපෘති සම්පූර්ණයෙන් ම බිඳ වැටුන ද එම පූර්වාදර්ශය වර්තමානය වන විට බොහෝ සංවර්ධන ව්‍යාපෘති සඳහා භාවිතකිරීමට සමාගම් විසින් ද උත්සාහ දරමින් සිටී. ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් පවතිද්දී ඉන් පරිභාහිර ව ඩග්ලස්දේවානන්ද ගේ දේශපාලන බලය භාවිත කර ටෝකියෝ සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනිමින් සිටීමෙන් වැරදි හා නීතිවිරෝධී පූර්වාදර්ශ අඛණ්ඩ ව භාවිතයට ගැනෙන බව තහවුරු වේ. ඒ අතරතුර ටෝකියෝ සමාගම පරිසර සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන්පෙනී යන්නේ මෙම දැවැන්ත ව්‍යාපෘතිය නීති විරෝධී ව කෙසේ හෝ ක්‍රියාත්මක කර ගැනීමේ අරමුණ පදනම් කර ගෙන හා එය සාධාරණීකරණය කරගැනීමේ අරමුණින් මෙම පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ඇති බව ය.

ටෝකියෝ සමාගම මානව හිමිකම් හා පරිසර අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම

කිලිනොච්චි, පුනරීන් ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මෙම කර්මාන්තශාලාවේ සියලු වැඩ කටයුතු ටෝකියෝ සමාගම විසින් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය යටතේ දැක්වෙන මූලික අයිතිවාසිකම්වලට අනුව නීතිය ක්‍රියාත්මක වීම සර්ව සාධාරණ විය යුතු ය, නීත්‍යානුකූල වෘත්තියක, කර්මාන්තයක නිරත වීමේ නිදහස, අභිමතස්ථානයක වාසය කිරීමේ නිදහස හා තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය යන සියල්ල මෙම ව්‍යාපෘතිය තුළින් ජනතාවට අහිමි කර ඇත.

පාරිසරික නීතිවලට අනුව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව ව්‍යාපෘතියක කිසිදු ඉදිකිරීමක් හෝ ඉඩම් අත්පත් කර ගැනීමක් සිදු කළ නොහැකි ය. නමුත් එය උල්ලංඝනය කරමින් මූලික ශක්‍යතා වාර්තාවක් හෝ ව්‍යාපෘති යෝජනාවලියක් හෝ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ නොමැතිව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. මෙමගින් නීතිය ක්‍රියාත්මක වීම සර්ව සාධාරණ ව සිදු වී නොමැත.

පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි ජීවත් වන ජනතාවට කෘෂිකර්මාන්තයේ, ධීවර කර්මාන්තයේ හා සත්ත්ව පාලනයේ නිරත වීමට ඇති භූමිය මෙම ව්‍යාපෘතිය යටතේ හුණු ගල් කැනීමට භාවිත කිරීමට නියමිත ය. එම භූමිය ලබා ගැනීමට මේ වන විට ජනතාව ඉවත් කිරීමට සූදානම් වේ. එමගින් ජනතාවට නීත්‍යානුකූල වෘත්තියක, කර්මාන්තයක නිරත වීමේ නිදහස, අභිමතස්ථානයක වාසය කිරීමේ නිදහස යන මූලික අයිතිවාසිකම් සියල්ල ම අහිමි වේ.

දැනට වසර ගණනාවක සිට මෙම ප්‍රදේශයේ ටෝකියෝ සිමෙන්ති සමාගම හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් හුණු ගල්නිධිවල ව්‍යාප්තිය පිළිබඳ ව ගවේශන සිදු කරන නමුත් මේ ව්‍යාපෘතියට අදාළ කිසිදු තොරතුරක් ජනතාව වෙත ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත. එපමණක් නොව ව්‍යාපෘතියට අදාළ මුල්ගල තැබීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කිරීමට උත්සාහ කරන අවස්ථාවල දී ද ජනතාවට සත්‍ය තොරතුරු සැඟවීම සිදුකර ඇත. මෙය ජනතාව ගේ තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමකි.

1955 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගත් රටක් වශයෙන් අප ජාත්‍යන්තර සම්මුතීන් හා මානව හිමිකම් සුරකිමින් රටේජනතාව ගේ පරිසරය මෙන් ම ජීවත් වීමට ඇති අයිතිය හා සංවර්ධනය වීමට ඇති අයිතිය සුරක්ෂිත කරන බවට සහතික විය යුතු ය. නමුත් ටෝකියෝ සමාගමේ යෝජිත සිමෙන්ති නිෂ්පාදන ව්‍යාපෘතියේ පළමු අදියරේ දී මානව හිමිකම් බොහොමයක් උල්ලංගනය කර තිබේ. 1948 වසරේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 2 වන වගන්තියට අනුව නීතිය සමානව ක්‍රියාත්මක විය යුතු ය, 3 වන වගන්තියට අනුව ජීවත්වීමේ නිදහස අහිමි නොකළ යුතු ය, 13 වන වගන්තියට අනුව පදිංචියට ඇති නිදහස, 17 වන වගන්තියට අනුව දේපළ බලහත්කාරයෙන් අහිමි කිරීමට උත්සාහකිරීම නතර කිරීම සහ 1966 වසරේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ 6 වන වගන්තියට අනුවජනතාව විසින් නිදහසේ තෝරා ගන්නා තම ජීවනෝපායන් කර ගෙන යාමට ඇති අයිතිවාසිකම අහිමි නොකිරීම, 11 වන වගන්තියට අනුව ස්වාභාවික සම්පත් පදනම් කර ගෙන කෘෂිකාර්මික ක්‍රම වර්ධනය කර ආහාර නිෂ්පාදනය කිරීමට ඇති අයිතිය අහිමි නොකිරීම, 1966 වසරේ සිවිල් හාදේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ 26 වන වගන්තියට අනුව නීතිය ඉදිරියේ සමානතාව මෙන් ම දේපල වෙනස්කම් කිරීමටවිරුද්ධ ව නීතියේ රැකවරණය තහවුරු කිරීම රාජ්‍යය විසින් සිදු කළ යුතු ය. මේ සියල්ල අහිමි කරමින් වේරාවිල්, පොන්නාවලී, ඒකාබද්ධ සිමෙන්ති කර්මාන්තශාලා ව්‍යාපෘතියේ විවිධ ක්‍රියාකාරකම් සිදු කරද්දී මධ්‍යම පරිසර අධිකාරිය හා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව යන කිසිදු රාජ්‍ය ආයතනයක් අදාළ සමාගමට එරෙහි ව ක්‍රියාත්මක නොවීමෙන් ජනතාව ගේ මානව අයිතිවාසිකම් සියල්ල උල්ලංඝනය වී ඇත.

1992 වසරේ දී පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී සම්මත කර ගන්නා ලද පරිසරය හා සංවර්ධනය පිළිබඳ රියෝප්‍රකාශනයේ 3 වන වගන්තියට අනුව සංවර්ධනය සඳහා ඇති අයිතිය ක්‍රියාවේ යෙදවිය යුත්තේ වර්තමාන සහ අනාගත පරම්පරාවේ සංවර්ධනය සහපාරිසරික අවශ්‍යතා සාධාරණ ලෙස සපුරාලන අයුරිනි. 4 වැනි වගන්තියට අනුව සංවර්ධනය මුදුන් පමුණුවා ගනු පිණිස පාරිසරික ආරක්ෂාව සංවර්ධන ක්‍රියාවලියේ අවශ්‍ය අංගයක් බවට පත් විය යුතු අතර එය ඉන් වෙන් කොට සැලකිය නොහැකි ය. 17 වන වගන්තියට අනුව පරිසරය කෙරෙහි සැලකිය යුතු අන්දමේ අහිතකර බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබෙන සහ නිසි ජාතික බලධරයා ගේ තීරණයට යටත් වන යෝජිත කටයුතු සඳහා ජාතික මෙවලමක් වශයෙන් පාරිසරික බලපෑම් තක්සේරුව යොදා ගනු ලැබිය යුතු ය. පීඩනය හා ආධිපත්‍යය යටතේ වෙසෙන ජනතාව ගේ පරිසරය සහස්වාභාවික සම්පත් ආරක්ෂා කරනු ලැබිය යුතු ය. රියෝ ප්‍රකාශනයේ සඳහන් මේ සියල්ල ම ටෝකියෝ සමාගමේ යෝජිත සිමෙන්ති කර්මාන්තශාලා ව්‍යාපෘතියේ දී මෙම සමාගම හා රජය විසින් උල්ලංඝනය කර තිබේ.

2011 ජුනි මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ඒකමතික ව සම්මත කර ගත් එක්සත් ජාතීන්ගේ ව්‍යාපාර හා මානවහිමිකම් පිළිබඳ මාර්ගෝපදේශවලට අනුව සියලූ ම ව්‍යාපාරික සමාගම් ජාත්‍යන්තර ව පිළිගත් මානව හිමිකම්වලට ගරු කිරීම අවශ්‍ය වේ.

මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලධර්ම, වැඩ කිරීමේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය, පරිසරය හා සංවර්ධනයපිළිබඳ රියෝ ප්‍රකාශනය සහ දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය පදනම් කර ගත් එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්ත මූලධර්ම 10 ට(The ten principles of the UN global compact) අනුව ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් ආරක්ෂා කිරීමට ව්‍යාපාරිකයන් සහයෝගය දැක්විය යුතු අතර මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට හවුල් නොවන බවට, පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා පූර්වාරක්ෂාව සිදු කරන බවට, පාරිසරික වගකීම් ප්‍රවර්ධනය කිරීම සඳහා සහ පරිසර හිතකාමී තාක්ෂණය සංවර්ධනය කිරීමට හා ව්‍යාප්ත කිරීමට සියලූ ම ව්‍යාපාරිකයන් කටයුතුකළ යුතු ය.

නමුත් ටෝකියෝ සමාගම ව්‍යාපාර වෙනුවෙන් ජනතාව, සොබාදහම හා රටේ නීති පද්ධතිය යන සියල්ල ම බිඳ දමමින් සිටී. නීතියේ ආධිපත්‍යය, ජනතාපරමාධිපත්‍යය, ස්වයංනිර්ණ අයිතිය, ස්වෛරීභාවය යන මේ සියල්ල බිඳ දමමින් වත්මන් ජනතාව ගේ හා අනාගත පරපුරේ ස්වාභාවික සම්පත් නැතහොත් අන්තර් පාරම්පරික සමානාත්මතාවය බිඳ දමමින් සමාගමකට කටයුතු කළ නොහැකි ය. එසේ කටයුතු කිරීමට ඉඩ දී රජය බලා සිටීම ද කළ නොහැකි ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ27(14) ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතු ය. එසේ නොමැති ව සමාගමකට රිසිසේ නීති විරෝධී ව පරිසරය හා ජන දිවිය විනාශ කිරීමට රජයට ඉඩදිය නොහැකි ය. රජය, ජනතාව විසින් ලබාදුන්ව්‍යවස්ථාධායක, විධායක හා අධිකරණ බලය ජනතාව ගේ හා රටේ සුරක්ෂිත පැවැත්ම වෙනුවෙන්, විනාශකාරී ටෝකියෝ සමාගමට එරෙහි වක්‍රියාත්මක නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28(ඈ) සහ (ඊ) ව්‍යවස්ථාවලට අනුව පොදු දේපළ සුරක්ෂිත කොට ආරක්ෂා කිරීම ද පොදුදේපළ අයථා පරිදි ප්‍රයෝජනයට ගැනීමට සහ නාස්ති කිරීමට එරෙහි ව ක්‍රියා කිරීම ද, ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් රැක ගැනීම ද ශ්‍රීලංකාවාසී සෑම තැනැත්තෙකු ගේ ම යුතුකම වන්නේ ය යන පුරවැසි වගකීම අප විසින් ඉටු කළ යුතු ය. ඒ සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පමණක්නොව සමස්ත ලංකාවේ ම ජනතාව ටෝකියෝ සමාගමට එරෙහි ව නැගීසිටිය යුතු වේ.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය


පුවත්

ඡන්දෙට සූදානම් වෙන්න. මැකෝ දැනුම් දෙයි

Published

on

By

මැතිවරණයක් කැඳවීමට නියමිත බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ආයතන කිහිපයකට දැනුම් දී තිබේ.

රජයේ මුද්‍රණාලායාධිපතිනියටත්, පොලිස්පතිවරයාටත් ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව සඳහන්ය.

එලෙස දැනුම් දී ඇති ආයතන අතර ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය හා ලංකා ගමනාගමන මණ්ඩලයද වේ.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල අඩුපාඩු පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස සියළුම ග්‍රාම නිලධාරීන්ට පසුගිය සතියේදී දැනුම්දුන් බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ප්‍රකාශ කලේය

මීට අමතරව නිලධාරීන් සහ වාහන පිළිබඳවද සංගණනයක් පවත්වන ලෙසට සියලු දිස්ත්‍රික් මැතිවරණ ප්‍රධානීන්ට දැනුම් දුන් බව ඔහු කියා සිටියේය.

මැතිවරණ කටයුතු සඳහා සූදානම් වීමේ මූලික අරමුණින් එලෙස උපදෙස් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 14 සහ ඔක්තෝබර් 16 අතර කාලයේදී පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා පවසන ලදී.

මේ අතර රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ  ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවය .

Continue Reading

පුවත්

මාලිමා රජයක් යටතේ ගුරු වෘත්තීයට නිසි තැන

Published

on

By

තම රජයක් යටතේ ගුරු වෘත්තීය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය දා (27) මඩකලපුව දිස්ත්‍රික් ගුරු සමුළුව අමතමිනි.

එහිදී අදහස් දැක්වූ අනුර දිසානායක මහතා,

“මේ මොහොත ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක වෙලාවක්. ජනාධිපතිවරණයට මාස කිහිපයක් තබාගෙනයි මේ දිස්ත්‍රික් ගුරු සමුළුව පවත්වන්නේ. ගුරුවරුන් වන ඔබට පැවරී තිබෙන ප්‍රධාන වගකීම අපේ රටට හොඳ මානව සම්පතක් නිර්මාණය කරන එකයි. දැනුමෙන් පිරුණු, මානවවාදයෙන් පිරුණු අලුත් මානව සම්පතක් අපි නිර්මාණය කරන්න ඕනෑ. අපේ ගුරුවරුන්ට තෘප්තිමත්භාවයක් නැහැ. ඔවුන්ට ලැබෙන වැටුප, අනෙකුත් පහසුකම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඔබ මාස කිහිපයකට පෙර සාධාරණ වැටුපක් ඉල්ලා උද්ඝෝෂණයක යෙදුණා. සාමාන්‍ය පවුලක් පවත්වාගෙන යන්න, දරුවන්ට උගන්වන්න, දෙමව්පියන්ට සලකන්න, අද ගුරුවරයෙකුට ලැබන වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. වැටුප ප්‍රමාණවත් නැති වුණට, පහසුකම් නැති වුණාට ඔබට පැවරෙන වගකීම දියුණු මානවයෙක් හැදීමයි. ඔබගේ වෘත්තිය ජනප්‍රිය වෘත්තියක් බවට පත්වෙලා නැහැ. වරායේ, කස්ටම් එකේ, මහ බැංකුවේ රස්සාවකට යනවා තරම් ව්‍යාපාරයක්  කරනවා තරම් ගුරු වෘත්තිය ජනප්‍රිය නැහැ. ගුරු වෘත්තිය අඩු පහසුකම්, අඩු වැටුප් සහිත වෘත්තියක් බවට පත්වෙලා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුල් කොට තිබෙනවා ගුරු වෘත්තිය ලංකාවේ ප්‍රධාන වෘත්තීන් දහයෙන් එකක් බවට පත්කරනවා කියලා. ඒ ඇයි? අපේ රටේ වැදගත්ම සම්පත තමයි මානව සම්පත. මේ මානව සම්පත දියුණු කරන්නේ නැතිව අපේ රටට අනාගතයක් නැහැ. අපි විශාල කාර්මීකරණ රාජ්‍යයක් නොවෙයි. අපේ රට ගල් අඟුරු, රත්තරන්, තෙල්, ගෑස් වැනි වාණිජ සම්පත් තිබෙන රාජ්‍යයක් නොවෙයි. ඒ නිසා  අපේ සම්පත මානව සම්පත බවට පත්කර ගත යුතුව තිබෙනවා. ඒ නිසා රටටත් ලෝකයටත් අවශ්‍ය වන දියුණු මානයෙක් අපි හදන්න ඕනෑ. එහිදී අධ්‍යාපනයට ලැබෙන කර්යභාරය අති විශාලයි.
අපේ ග්‍රාමීය ජනතාව මුහුණදී තිබෙන දුප්පත්භාවයෙන් ඔවුන් මුදාගන්නේ කොහොමද? තාත්තා ගොවියෙක්, ධීවරයෙක් වූ නිසාම පුතත් ගොවියෙක් හෝ ධීවරයෙක් වුණා. අද එම රැකියා ආදර්ශමත් වෘත්තීන් බවට පත්වෙලා නැහැ. ග්‍රාමීය දුප්පත්භාවයේ පදනම බවට පත්වෙලා තිබෙන්නේ හරිහමන් ආදායමක් සහිත වෘත්තියක් නොමැතිකම. එක පැත්තකින් කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය ආදර්ශමත් වෘත්තියක් බවට පත්කරන්න ඕනෑ. එම පවුල්වල දරුවන් නව වෘත්තීන්වලට යොමු කරන්න ඕනෑ. නව ආර්ථික අවස්ථා හදන්න ඕනෑ. ග්‍රාමීය තරුණ පරම්පරාවට නව රැකියා අවස්ථා හදන්නේ නැතිව, ආර්ථිකයේ නව දොරටු විවෘත කරන්නේ නැතිව දුප්පත්භාවයෙන් මුදා ගන්න බැහැ. ආර්ථිකයේ නව අවස්ථා හදනවා නම් එය ගොඩනැගිය හැකි වන්නේ අධ්‍යාපනයෙන්. 

අපේ සමාජය විශාල ලෙස අපරාධවලට ගොදුරු වෙලා. කුඩු වැනි මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙලා. පසුගිය කාලයේ රිමාන්ඞ් බන්ධනාගාර ගත වූවන්ගෙන් 70%කට වැඩිය දහයේ පන්තියට පහළින් ඉගෙන ගත් අය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැයි වූවන්ගෙන් 70%කට වැඩිය දහයේ පන්තියට පහළින් අධ්‍යාපනය ලැබූ අය. ඒ කියන්නේ අපරාධවලටයි, මත්ද්‍රව්‍යවලටයි ඇබ්බැහිවීමයි අධ්‍යාපනයයි අතර සම්බන්ධතාවයක් තිබෙනවා. යහපත් පුරවැසියෙක් ගොඩනඟන්න අධ්‍යාපනයත් ප්‍රධාන වැඩක්. දරුවෝ අධ්‍යාපනයට යොමු වුවහොත් අපරාධවලට, මත්ද්‍රව්‍යවලට, යොමු වීම අඩුවෙනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය ගොඩනැගීමේදී අධ්‍යාපනය ඉතාමත් වැදගත්. ජාතිවාදයට ගොදුරු වී තිබෙන සමාජය ඉන් ගොඩගැනීමේදී අධ්‍යාපනයට විශාල හිමිකමක් ලැබෙනවා. ලෝකයේ වේගයෙන් අලුත් දැනුම නිර්මාණය වෙනවා. තාක්ෂණයේ මහා පිමි ගන්නවා. තාක්ෂණය හරහා මාලු සම්පත ඉන්න දිශාව ධීවරයාට ලැබෙන පණිවිඩය අනුව ධීවරයා මුහුදු යනවා. ඒ තරමට තාක්ෂණය දියුණුවී තිබෙනවා. අපේ රට ඉදිරියට ගෙනයාමට නම් තාක්ෂණයේ, විද්‍යාවේ විශාල ජයග්‍රහණයන් අත්පත් කර ගන්න ඕනෑ. ඒවා අත්පත්කර ගන්න අධ්‍යාපනය අවශ්‍යයි. ලංකාවේ ජනතාව දියුණු ජාතිකයක් බවට පත්කිරීමේදී, ආර්ථිකය ගොඩනැගීමේදී අධ්‍යාපනයට ප්‍රධාන වැඩකොටසක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියේ ප්‍රධාන වැඩ කොටසක් වන්නේ අධ්‍යාපනය දියුණු කිරීම. අධ්‍යාපනය දියුණු කරන්න ඒ සඳහා පහසුකම් හදන්න ඕන. ගුරුවරුන්ට අවශ්‍ය වෘත්තියේ ගෞරවය, ගුරු වෘත්තිය ජනප්‍රිය වෘත්තියක් වෙන්න ඕනෑ. නව දැනුම ගුරුවරුන්ට ලැබෙන්න ඕනෑ. මේවැනි ක්ෂේත්‍ර ගණනාවක පරිවර්තනයක් කරන්න අපි ලැහැස්තියි. අපේ රටේ උතුරේ, දකුණේ, නැගෙනහිර හැමදෙනාම වෙනසක් බලාපොරොත්තු වෙනවා. වෙනසක අවශ්‍යතාවය වෙනුවෙන් සෑම කෙනෙක් තුළම උද්යෝගයක්, උද්ඝෝෂණයක් තිබෙනවා. ඒ වෙනස ඇති කිරීම සඳහා තීරණාත්මක ජනාධිපතිවරණයක් ඒමට නියමිතව තිබෙනවා. මේ වෙනස ඇති කළ හැකි වන්නේ කාටද? 

රනිල් වික්‍රමසිංහ 1977 සිට මේ දක්වා ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන නායකයෙක්. ඒ කියන්නේ පැරණි අය. අවුරුදු 50කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳිමින්, අධ්‍යාපන ඇමති, විදේශ ඇමති, තරුණ ඇමති, අගමැති, ආර්ථික ඇමති, මුදල් ඇමති, ජනාධිපති ධුර දරා තිබෙනවා. වෙනසක් ඇති කළාද? අද වෙනසක් වෙනුවෙන් එකතු වෙන්නේ කවුද? පොහොට්ටුව නිල වශයෙන් රනිල්ට සහාය දෙන්න ප්‍රකාශයක් කර නැහැ. නමුත් පොහොට්ටුවේ මහින්දානන්ද අලුත්ගමගේ, බන්ධනාගාර ඇමති වෙලා ඉන්න කාලේ රෑ බන්ධනාගාරයට පැනලා, සිරකරුවන් පෙළ ගස්වලා, තරුණයන්ගේ ඔලුවට පිස්තෝලෙ තිබ්බ රොහාන් රත්වත්තේ රනිල්ට සහාය දෙන්න ඉදිරිපත් වී තිබෙනවා. කප්පම් අරගෙන, මහාධිකරණයේ වැරදිකරුවෙක් වෙලා අවුරුදු හතරකට ඇඟ බැඳ තිබෙන ප්‍රසන්න රණතුංග, මිරිස් කුඩු යාළුවා ප්‍රසන්න රණවීර, මීගමුවේ නිමල් ලංසා, මඩකලපුවේ පිල්ලෙයාන් රනිල්ට සහාය දෙන්න තීන්දුවක් අරගෙන තිබෙනවා. වෙනස් කරන්න ඉස්සෙල්ලාම වෙනස් නායකත්වයක්, වෙනස් පිරිසක් ඕනෑ. දශක ගණනාවක් අපේ රට පාලනය කරපු අවුරුදු දහය පහළොව ඇමතිකම් දරපු, පැරණි, අසර්ථක ඒ ඔක්කෝම එකතු වෙලා වෙනසක් වෙනුවෙන් ඡන්දේ ඉල්ලනවා. ජනතාවගේ අපේක්ෂාව වෙනසක්, ඒ වුණාට රනිල්ගෙන් ඒ වෙනස දෙන්න බැහැ. 

සජිත් පේමදාසට පුළුවන්ද වෙනසක් කරන්න? එයාට ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න තිබෙන එකම සුදුසුකම තාත්තා ජනාධිපති වීම පමණයි. සජිත් ගැන එයාගෙ සභාපති සරත් ෆොන්සේකා කතා කරනවා. එයා ගැන දැන ගන්න ඒ ඇති. මේ රටේ වෙනසක් කරන්න තෝරා ගන්න තිබෙන පාර ජාතික ජන බලවේගයේ අපි නියෝජනය කරන පාර පමණයි. විශේෂයෙන්ම ගුරුවරුන්ට වගකීමක් තිබෙනවා. වැටුප් වැඩිකර ගැනීමට දීර්ඝ උද්ඝෝෂණයක් තිබුණා. ඒ උද්ඝෝෂණය නතර කරන්න ආණ්ඩුව සහ වෘත්තිය සමිති අතර එකඟතාවයකට ආවා. අයවැය ලේඛනයට යෝජනාව ඇතුල් කළා. පියවර කිහිපයකට වැටුප් වැඩිකරන්න එකඟ වුණා. ඒ එකඟතාවය ඉටු කරන්න කියල ගුරුවරු  ඉල්ලන්නේ. ආණ්ඩුව ඒකට උනන්දුවක් දක්වන්නේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහට අයවැය ලේඛනයෙන් වෙන්නොකර පරිපූරක ඇස්තමේන්තුවකින් කෝටි 875ක් වෙන්කරනවා. රනිල් වික්‍රමසිංහට අයවැය ලේඛනයෙන් අවුරුද්දකට වෙන්කළ සල්ලි මාස හතරකින් ඉවර කළා. මන්ත්‍රීවරුන්ට ඡන්ද කරන්න කෝටි 120ක් දෙනවා, අයවැයෙන් වෙන් නොකළ සල්ලි. හැන්ද තියෙන්නේ ඒගොල්ලන් ගාව. ඒ හැන්දෙන් එයාලට බෙදා ගන්නවා. ගුරුවරුන්ට අයවැයෙන් වෙන් කළ සල්ලි දෙන්නේ නැහැ. ගුරුවරු සාධාරණ උද්ඝෝෂණයක් කළා. ලිව්වා. සාකච්ඡා කළා. රනිල්ගේ උත්තරය වුණේ ජල ප්‍රහාර, කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර. එයාට ඒවා කළ හැක්කේ එයා ජනාධිපති නිසා. රනිල් ආවේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලු අරගෙන. ඔබ යන්නේ මොකක් අරගෙනද? ඡන්ද කාඞ් එකයි, හැඳුනුම්පතයි අරගෙන. මේ ගනුදෙනුව බේරා ගන්නම ඕනෑ. මේ රටේ ගුරු පරපුර රනිල් වික්‍රමසිංහ පරාජයට පත්කිරීම සඳහා ඉදිරියට එනවා, වැඩ කරනවා, ඡන්දේ දෙනවා කියලා අපට දැඩි විශ්වාසයක් තිබෙනවා. 
අපි කරන්න ඕන වෙනස මොකක්ද? අපේ රටේ ව්‍යසනයක් වෙලා තිබෙනවා ජාතිවාදය. දේශපාලනය සම්පූර්ණයෙන්ම ජාතිවාදය මත, පදනම් වෙලා තිබෙන්නේ.  එකිනෙකාට එරෙහි දේශපාලනයක්. 2019 ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය තිබෙන්නේ මුස්ලිම් ජනයාට එරෙහි දේශපාලනයක් මත. ඒ දේශපාලනය වෙනස් කරන්න ඕනෑ. ජාතිය සමගි කිරීමේ දේශපාලනයක් ඇති කරන්න ඕනෑ. ජාතික ජන බලවේගය ඇති කරන වෙනස තමයි, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගි කරන දේශපාලනයක් කිරීම. 

අපේ සියලු කර්මාන්ත ශාලා විකුණුවා. මේ විකුණන දේශපාලනය අවුරුදු 50කට වැඩියි. විකුණන දේශපාලනයක් නොවෙයි ඕන. ඒවා රැකබලාගෙන අලුත් තාක්ෂණය ගෙනත් නිෂ්පාදනය වැඩිකරන අලුත් දේශපාලනයක් ඕනෑ.  මඩකලපුවට අවශ්‍ය මොන දේශපාලනයක්ද. වාලච්චේන කඩදාසි කම්හලට පණ පොවලා අලුත් තාක්ෂණය ඇති කරලා, තරුණ පරම්පරාවට රැකියා ඇති කරලා රටේ ආර්ථිකය දියුණු කරන්න ඕනෑ කියලා අපි යෝජනා කරනවා. ජාතික ජන බලවේගයේ අපි හදන ආර්ථිකය ඒක තමයි වෙනස. ඒ ගොල්ලන්ගේ දේශපාලනය දූෂිතයන් රකින දේශපාලනය. ජාතික ජන බලවේගයේ දේශපාලනය දූෂිතයන්ට දඬුවම් දෙන, සොරකම් කරන ලද ධනය පවරා ගන්න දේශපාලනය. දේශපාලනය කියන්නේ පුරවැසියන්ට, නිදහසේ, තමන්ගේ අදහස් කියන්න, නිදහසේ ක්‍රියාකාරිත්වයේ යෙදෙන්න පුළුවන්කම තියෙන්න ඕන පාලනයක්. 

මඩකලපුවේ ජනතාව බය කරන දේශපාලනයක් තියෙනවා. පුරවැසියන්ට අයිතියක් තියෙනවා තමන් කැමති දේශපාලයක යෙදෙන්න. ඒ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින්න. හැබැයි අද පිල්ලෙයාන්ට බයවෙලා ඉන්න සිදුවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් සියලු අතුරු හමුදා නිරායුධ කරනවා. එක කණ්ඩායමකට නීති විරෝධී ලෙස අවි දරාගෙන, රාජ්‍ය අනුග්‍රහය සහිතව දේශපාලනය කරන්න ඉඩ දෙන්න ඕනෙද? වැඩ කිරීම ඔබගේ අයිතිය. ඒක කිසිවෙකුට යටපත් කරන්න ඉඩ දෙන්න බැහැ. අතුරු හමුදා නිරායුධ නොකර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කරන්න බැහැ. 

පසුගිය කාලයේ අපේ රටේ විශාල ඝාතන ප්‍රමාණයක් සිදුවුණා. පාස්කු ප්‍රහාරයක් සිදුවුණා. ඒව ගැන විමර්ශනය කරගෙන යනකොට අතුරු හමුදා කල්ලි ගැන තොරතුරු එළියට එනවා. නිල හමුදාවන් අතේ පමණයි ආයුද තිබිය යුතු වන්නේ. ඒ වෙනස ඇති කරන්නේ ජාතික ජන බලවේගය. අනෙක් හැම දෙනාම ඒගොල්ලන්ව ආරක්ෂා කරනවා වගේම පක්ෂයේ ප්‍රධානීන් බවට පත්කර ගන්නවා. ජාතික ජන බලවේගයේ අපි පුරවැසියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කරන පාලනයක් ඇති කරනවා. දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව පොදු ප්‍රශ්නවලට මුහුණ දෙනවා වගේම ඔවුන්ට අනන්‍යවූ ප්‍රශ්නත් තිබෙනවා. දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ට තමන්ගේ භාෂාවෙන් රජයත් සමග ගනුදෙනු කරන්න තිබෙන අයිතිය අපි තහවුරු කරනවා. ඔවුන්ට අනන්‍ය වූ සංස්කෘතියට ගරු කරමින් ආරක්ෂා කරමින් අපි ඉදිරියට ගෙන යනවා. ඔබගේ ආගම ඇදහීමට අවශ්‍යතාවය අපි හදනවා. ඒක තමයි අපි  ඇති කරන වෙනස. දෙමළ ජනතාව කල්පනා කරන්නේ මේ ආණ්ඩු පාලනයෙන් තමන් පිටස්තර වූවන් ලෙස. ආණ්ඩුව කියන්නේ සිංහලයාගේ, කොළඹ තිබෙන ආණ්ඩුවක් ලෙස ඔවුන් සිතනවා. ඒක අපි මුළුමනින්ම වෙනස් කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ නියෝජනය සහිත ආණ්ඩුවක්. උතුර, දකුණ, නැගෙනහිර සියලු දෙනාගේ කැමැත්තෙන් හැදෙන ආණ්ඩුවක්. දකුණේ දේශපාලනයේ ජාතික ජන බලවේගය සමග හැප්පෙන්න කිසිදු දේශපාලනයක් නැහැ. දකුණ දිනන්නේ අපි. සිංහල,දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ සහයෝගය අපිට අවශ්‍යයි. මේ රටේ ප්‍රශ්න විසඳිය හැක්කේ එහෙම ආණ්ඩුකට පමණයි. එහෙම ආණ්ඩුවක් තමයි මෙතෙක් හැදුණු ආණ්ඩුවලට වඩා වෙනස් ආණ්ඩුවක් වෙන්නේ. එහෙම ආණ්ඩුවක් අපි හදමු. ඔබ ඉතා හොඳින් මේ පණිවිඩය ගෙන යන්න. ශක්තිමත් ජයග්‍රහණයන් ජාතික ජන බලවේගයට ලබාදෙන්න මහන්සි වෙන්න. ඒ වෙනුවෙන් ඉදිරියට එන්න. ඒ වෙනුවෙන් වැඩ කරමු.”

Continue Reading

ක්‍රීඩා

විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් අවසන් සටන අද

Published

on

By

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය බටහිර ඉන්දීය කොදෙව්, බාබඩෝස් බ්‍රිජ්ටවුන්හිදී අද රාත්‍රියේදී පැවැත්වේ.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තරඟ වදින අවසන් මහා තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතය.

අවසන් මහා තරඟයට  ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තරඟ වදින්නේ මෙවර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අපරාජිත කණ්ඩායම් ලෙස වීමද විශේෂත්වයකි.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයට ඉන්දියාව මෙවර එක් වන්නේ තුන් වන වරටය.

ඒ අනුව 2007 වසරේදී පකිස්තානයට එරෙහිව විස්සයි විස්ස ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඉන්දියාව සමත් විය.

කෙසේවෙතත් 2014 වසරේදී ඉන්දියාව පරදා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි.

දකුණු අප්‍රිකාව පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයකට අද ක්‍රීඩා කරන්නේ පළමුවරට වීමද විශේෂත්වයකි.  

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved