රුපියල් කෝටි 07 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජන් තාඹුගල මහතා අත්අඩංගුවට ගැනීම පිටුපස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රුපියල් කෝටි 30 ක කප්පමක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් ඇතැයි සැකකරුගේ පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණය හමුවේ ඊයේ (27) චෝදනා කළහ.
ප්‍රකට ව්‍යාපාරිකයකු වන ආතර් සේනානායක මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල මහතාව ඉකුත් 22 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව එම සැකකරු ඊයේ දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය නියෝග කළාය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් මෙම සිද්ධියට අදාළ ගනුදෙනු 2023 නොවැම්බර් 03 වැනිදා වී ඇති බවත්, සැකකරු එහිදී අපරාධමය වරදක් කර ඇතැයි ද දන්වා සිටියේය.
සැකකරු වෙනුවෙන් නීතිඥ රන්ජන් ද සිල්වා, නාමල් රාජපක්ෂ, මදාරා විජේසිංහ, හික්කඩුව ලියනගේ ඉසුරි සමග පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න කරුණු ඉදිරිපත් කරමින් මෙය සිවිල් ආරවුලක් බවත්, සැකකරු විසින් අපරාධමය වරදක් කර නොමැති බවත් දන්වා සිටියහ.
සැකකරුගේ නීතිඥ උපාලි ජයමාන්න මහතා,
සැකකරු අත්අඩංගුවට ගැනීම පිටුපස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් කරන ලද රුපියල් කෝටි 30 ක කප්පමක් තිබෙනවා. මෑතකදී විශ්‍රාම ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලක්සිරි ගීතාල්, එම අංශයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා විසින් සැකකරුගෙන් රුපියල් කෝටි 30 ක කප්පමක් ඉල්ලා තිබෙනවා.
එම මුදල රුපියල් කෝටි 12 කටත්, පසුව රුපියල් කෝටි 5 කටත්, අඩුකර රුපියල් කෝටි 02 ක අත්තිකාරමක් ගෙන තිබෙනවා. මෙම සිද්ධියට අදාළ සාක්ෂි සැකකරු සන්තකයේ පවතිනවා. එම කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අධිකරණය හමුවේ රහස්‍ය ප්‍රකාශයක් දීමට නියමිතයි. මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය, සැකකරු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදා හරින ලෙසත්, අදාළ නඩුව ලබන ජූලි 29 වැනිදා යළි කැඳවන ලෙසත් නියම කළාය.
සබැඳි පුවත්:
තාඹුගලට ඇප
අවුරා ලංකා සභාපති රිමාන්ඩ්