Connect with us

පුවත්

දලයි ලමා ලංකාවට ගේන්න හදන්නේ චීන මිතුදම අවුල් කරන්න?

Published

on

තමන් වහන්සේ විසින් ටිබෙටයේ ආධ්‍යාත්මික නායක – දලයි ලාමා හිමියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කර ඇති බවත්, උන් වහන්සේ එම ගෞරවනීය ආරාධනාව පිළිගත් බව ලිඛිතව දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක අති පූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නාහිමියන් කියති.

දලයි ලාමා හිමියන්ට උපහාර දැක්වීමක් වශයෙන් පසුගිය 06දා උන්වහන්සේගේ 88 වැනි ජන්ම දිනයට යෙදී තිබුණු, කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය ආශ්‍රිතව පැවැති උත්සවයකදීය.

මෙම උත්සවය, කැලණි සරසවියේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය, දර්ශනය අධ්‍යයන අංශය හා සංස්කෘත හා පෙරදිග අධ්‍යයන අංශය මෙන්ම බෞද්ධ සහෝදරත්ව පදනම, ශ්‍රී ලංකා – ටිබෙට්  බෞද්ධ සහෝදරත්ව පදනම හා අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය යන ආයතන හා සංවිධානවල සහයෝගීත්වයෙන් හා සංවිධානයෙන් යුතුව පවත්වා තිබිණි.

මේ ආරාධනාව සිදුකරනු ලැබුවේ වසර 2022දී වසරේදී දලයිලාමා හිමියන් සිය වාර්ෂික සංචාරය ආරම්භ කරමින් බුද්ධගයාවට පැමිණි අවස්ථාවේදී බවත්, එම අවස්ථාවට තමන් වහන්සේද ශ්‍රී ලංකා දූත පිරිසක් හා එක් වූ බවත් මහින්දවංශ නාහිමියන් පැවසීය.

එම උත්සවය අමතමින් මහින්දවංශ නාහිමියන් සිදු කළ දේශනයේදී, උන්වහන්සේ පවසා ඇත්තේ 14 වැනි ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ශ්‍රී ලංකාවට ගෙනඒම ඉතා වැදගත් බවයි.

ශ්‍රී ලංකාව වෙත දලයි ලාමා හිමියන්ගේ ආගමනයක් සිදුවන්නේ නම් උන්වහන්සේගේ පැමිණීමත් සමඟම ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයින් සහ බැතිමතුන් ශ්‍රී ලංකාව වෙත පැමිණීමෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයේ විශාල ප්‍රබෝධයක් ඇති වනවාට අමතරව ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ බැතිමතුන් වන ඇමරිකාවේ, යුරෝපයේ, ජපානයේ, සහ තායිලන්තයේ වෙසෙන මහා පරිමාණ ආයෝජකයින් මේ සමඟම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයට ඔවුනගේ දායකත්වය ලබාගැනීමේ කාර්යයද නිතැතින්ම සිදුවන බවද උන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට උද්ගතව ඇති ආර්ථික අර්බුදය සමනය කරගැනීමට එය මනා ශක්තියක් වනු ඇති බවට නොඅනුමාන යැයි මහින්දවංශ නාහිමියන් කීහ.

“දලයි ලාමා සංචාරයකින් චීන – ලංකා මිතුදම පළුදු විය හැක”

කෙසේවෙතත්, පසුගිය ජනවාරියේදී ‘ශ්‍රී ලංකා මිරර්’ සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී කොළඹ චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති – හූ වෙයි මහතා පවසා සිටියේ දලයි ලාමා හිමිගේ සංචාරයකින් ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය පළුදු විය හැකි බවයි.

දෙරට අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය මත පදනම් වූවක් බව පැහැදිලි කළ හූ වෙයි මහතා යාපනය හෝ මහනුවර ශ්‍රී ලංකාවේ කොටසක් වන්නා ලෙස, ටිබෙටයද ස්වාධීන රටක් නොව චීනයේ කොටසක් බවද ඔහු එම අවස්ථාවේදී පැහැදිලි කළේය.

මේ පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වී තිබුණු බවත්, සිය මහනුවර සංචාරයේදී මහා නායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සමඟ මේ ගැන සාකච්ඡා කළ බවත්, ඔවුන් කිසිවෙක් එවැනි සංචාරකයකට ආරාධනයක් සිදුනොකළ බවට සහතික වූ බවත් හූ වෙයි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, පසුගිය මාසයේදී චීනයේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ ඇමති – අලි සබ්‍රි මහතා, බෙයිජිං අගනුවරදී එරට විදේශ කටයුතු පිළිබඳ ඇමති – චින් ගංග් හමුවූ අවස්ථාවේදී සනාථ කර තිබුණේ ‘එක් චීනයක්’ ප්‍රතිපත්තියට මෙන්ම ‘එක් තීරයක් එක් මාවතක්’ ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහය හිමි වන බවයි.

සබැදි පුවත් :

“දලයි ලාමාගේ සංචාරයකින් ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය පළුදු විය හැක” (වීඩියෝ)

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved