මාතර, වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේදී මිය ගිය පොලිස් නිලධාරියාට පොලිස් ත්‍යාග මුදල් ලෙස ලබා දුන් ලක්ෂ 15ක මුදලට අමතරව ජනාධිපති අරමුදලින් ලක්ෂ 25ක් ලබා දීමට කටයුතු කර ඇති බවත් ඒ වෙනුවෙන් එවකට ජනාධිපතිවරයාගෙන් ඊට අදාළ ඉල්ලීම කරන්නට ඇත්තේ එවකට පොලීසිය භාර ඇමැතිවරයා වූ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා බවට තමන් විශ්වාස කරන බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (17) ප්‍රකාශ කළේය.
එම ඉල්ලීම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සිදුකළ නොහැකි අතර මියගිය අදාළ පොලිස් නිලධාරියාට ජනාධිපති අරමුදලින් ලක්ෂ විසිපහක මුදලක් ලබාදීමේ යෝජනාව ඇමැති ටිරාන් අලස් මහතාට යොමුකරන්නට ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් බවද හෙතෙම පැවසීය.
පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සිදු කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙක් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඊයේ (17) රැස් වූ අවස්ථාවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රියන්ත වීරසූරිය මහතා මේ බව සඳහන් කළේය.
ජනාධිපති අරමුදලින් හා පොලිස් ත්‍යාග අරමුදලින් ලබාදී ඇති රුපියල් ලක්ෂ හතලිහක මුදලක් මියගිය නිලධාරියාගේ බිරියගේ බැංකු ගිණුමකට යොමුකර ඇති බවත් එම මුදල ලබාගත නොහැකි වන ආකාරයෙන් අත්හිටුවීමකට ලක්කර ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා පැවසීය.
මාතර වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමේ සිදුවීමේදී මිය ගිය නිලධාරියාගේ තනතුරක් ඉහළ දමන ලෙසද ඉල්ලීමක් කර ඇති බවද ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
මාතර, වැලිගම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ විශේෂ විමර්ශන ඒකකය (SIU) හරහා විමර්ශන දෙකක් සිදු කරන බැවින් එම ඉල්ලීම මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවද ඔහු කමිටුව හමුවේ අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා සඳහන් කළේ අදාළ නිලධාරියාගේ බිරියගේ ගිණුමට මෙලෙස බැරකර ඇත්තේ රාජ්‍ය මුදල් බැවින් මෙවැනි ආකාරයට එම මුදල් අවභාවිත වීමට ඉඩ දිය නොහැකි බවයි.
මේ අතර, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පුවත්පත් වාර්තාවක් අමුණා එවමින් මාතර, වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වාර්තාවක් ලබා දෙන ලෙස එවකට වැඩ බලන පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අවස්ථා දෙකකදී දැනුම් දීම් සිදු කර ඇති බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
එසේ වූවද ඊට අදාළව දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අවස්ථා දෙකකදී ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමුකර ඇත්තේ එකම ලිපිය බවද මෙහිදී අනාවරණය කළේය.
අනතුරුව තමාටද පොලිස් කොමිසම විසින් අදාළ පුවත්පත් ලිපිය සමග මෙම සිදුවීම ගැන වාර්තාවක් ලබා දෙන ලෙස ලිඛිතව දැනුම් දුන් බවත්, ඒ සඳහා මාසයක පමණ කාලයකින් ලබා දෙන ලෙස දැනුම් දුන් පසු එම වාර්තාව යොමු කළ බවත් සාක්ෂිකාර පොලිස්පතිවරයා කමිටුව හමුවේ සඳහන් කළේය.
මේ අතර, මීට පෙර දැනුම්වත් නොකළද මෙම වෙඩි තැබීමේ සිද්ධියට සහභාගි වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරින් අදාළ වෙඩි තැබීම සිදු කළ අවස්ථාවේ පැමිණි ජංගම මුර සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරී කණ්ඩායමට සිය කණ්ඩායම පොලිස් නිලධාරීන් යනුවෙන් හඳුන්වාදීමට කටයුතු කළ යුතුව තිබූ බවත්, එසේ සිදු නොකර මෙලෙස පලායාමට උත්සාහ කිරීමෙන් මෙම සිද්ධිය මීට වඩා ව්‍යසනකාරී සිද්ධියක් බවට පත්වීමට ඉඩ තිබූ බවත් සාක්ෂිකාර වැඩබලන පොලිස්පතිවරයා කමිටුව හමුවේ පැවසීය.
එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ විත්තිකාර දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස් විශේෂ කාර්ය බළකායේ 28ක්, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ 09ක් සහ විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ 06ක් ලෙස 43 දෙනෙකුගේ ආරක්ෂාවක් ලබා දී තිබූ බවත්, කෙසේ වෙතත් නොදන්වා සැඟව සිටීමට පොලිස්පතිවරයා කටයුතු කිරීමත් සමඟ එම 43 දෙනා නැවත අදාළ කොට්ඨාසවලට කැඳවීම සිදු කළ බවත් සාක්ෂිකාර වැඩබලන පොලිස්පතිවරයා පැවසීය. මෙලෙස පලාගිය අවස්ථාවේ පොලිස්පතිවරයාගේ නිෙවසේ තිබී ඔහුගේ රාජකාරී ගිනි අවිය රෙදිවලින් ඔතා රෙදි සෝදන යන්ත්‍රය තුළ දමා තිබියදී සොයා ගත් බවත් ඔහු පැවසීය.
පොලිස්පති ධුරයේ වැඩ තහනමට ලක්වූවාට පසු වැටුප් සහ දීමනා ලබා දීම සම්බන්ධයෙන් තමා පළමුව නීතිපතිවරයාගෙන් විමසූ අතර, එහිදී නීතිපතිවරයාට මෙය අදාළ කාරණයක් නොවන බැවින් එය විගණකාධිපතිවරයාගෙන් විමසන ලෙස නීතපතිවරයා දැනුම්වත් කළ බවත්, ඒ අනුව විගණකාධිපතිවරයාගෙන් කළ විමසීමේදී වැටුප් ගෙවීම ගැටලුවක් නොවන බව දැනුම් දුන් බවත් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කරන තෙක් මෙම වැටුප් හා දීමනා ගෙවීමට කටයුතු කළ බවත්, අනතුරුව මෙම නියෝගයත් සමඟ අත්හිටවූ බවත් සාක්ෂිකාර වැඩබලන පොලිස්පතිවරයා පැවසීය.
අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා,
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම අත්හිටුවීමට පත්වීම් බලධාරියා කටයුතු කර තිබුණාද?
සාක්ෂිකරු – නැත ස්වාමීනි.
අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා,
ඔහුගේ පත්වීම් බලධාරියා කව්ද?
සාක්ෂිකරු – ජනාධිපතිවරයා
අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා,
එතුමා භුක්ති විඳි වරප්‍රසාද ඉවත් කිරීමට කටයුතු කළාද?
සාක්ෂිකරු – දේශබන්දු තෙන්නකෝන් මහතා අනෙකුත් වරප්‍රසාද භුක්ති විඳින බැවින් ගතයුතු තීරණ සම්බන්ධයෙන් අදාළ ප්‍රධානින් මගෙන් විමසීමක් කළා. ඒ අනුව මම ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් විමසීමක් සිදු කළා. ඒ අනුව එතුමා මාවෙත සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගෙන් විමසීම් කළ යුතු බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් මම විගණකාධිපතිවරයාගෙන් විමසීම් කළා. එහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේ වැටුප් හා අන්තර් නිවාඩු තැබීමකට සමාන බැවින් වැටුප ගෙවිය හැකි බවයි. ඒ අනුව වැටුප් ගෙවීම් සිදු කළා.
අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා,
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ මහතා ධුරයේ කටයුතු කිරීම වැළැක්වීම වෙනුවෙන් ගෙන තිබූ තීරණයෙන් පසුව වැටුප් හා දීමනා ලබාදුන්නාද?
සාක්ෂිකරු – නැත
අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා,
දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදී තිබූ වාහන සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගත්තාද?
සාක්ෂිකරු – ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගත්තා. ඒ අනුව පොලිස්පතිවරයාට ජීප් 10ක්, මෝටර් රථ තුනක්, බයික් ආදි වශයෙන් ලබාදී තිබුණා.
අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා,
එවැනි වාහන සංඛ්‍යාවක් ලබාදී තිබුණා.
සාක්ෂිකරු – මෙම වාහන එතුමාගේ පෞද්ගලික පරිහරණය සඳහා නෙවෙයි. එම වාහන පොලිස්පති කාර්යාලය වශයෙන් වෙන්කරන්නේ. අවශ්‍යතාවය අනුවයි පරිහරණය කරන්නේ. ඒ වගේම ආරක්ෂාව වෙනුවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස් විශේෂ කාර්ය බළකායේ 28ක්, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ 09ක් සහ විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ 06ක් ලෙස 43 දෙනෙකුගේ ආරක්ෂාවක් ලබා දී තිබුණා. කෙසේ වෙතත් නොදන්වා සැඟව සිටීමට පොලිස්පතිවරයා කටයුතු කිරීමත් සමඟ එම 43 දෙනා නැවත අදාළ කොට්ඨාසවලට නැවත කැඳවූවා.
අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා,
දේශබන්දු තෙන්නකෝන් මහතා පදිංචිව සිටි නිෙවස පරීක්ෂා කිරීමේදී ගිනි අවිය හා උණ්ඩ හමුවුණාද?
සාක්ෂිකරු – ඒ මොහොත වනවිට දේශබන්දු තෙන්නකෝන් මහතා නිෙවසින් ඉවත්ව ගොස් සිටියේ. ආරක්ෂක නිලධාරින්ද අතහැර දමා. ඒ නිසා අදාළ නිලධාරින් කලින් සේවය කළ ස්ථානවලට අනුයුක්ත කළා. ඒ වගේම එතුමාගේ නිෙවසේ රෙදි සෝදන යන්ත්‍රය තුළ තිබී එතුමාගේ රාජකාරි ගිනි අවිය සහ උණ්ඩ දහය හමුවුණා.
අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා,
වැලිගම සිදුවීමේදී මියගිය උපුල් නම් නිලධාරියාට පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් ලක්ෂ 15ක් ලබාදීමට කටයුතු කර තිබෙනවාද?
සාක්ෂිකරු – එසේය ස්වාමිනි. ලබාදී තිබෙනවා. ලක්ෂ තුනකට වැඩි ගෙවීම් වෙනුවෙන් අනුමැතිය ලබාදිය යුත්තේ පොලිස්පතිවරයා විසින්. නමුත් පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ලබාදීමේදී අනුගමණය කළ යුතු ක්‍රමවේදයක් තිබෙනවා. එය විධිමත් ලෙස සිදුකළ යුතුයි. එවැනි ගෙවීම් සිදුකළ හැකි ආකාරය සම්බන්ධයෙන් පොලිස් චක්‍රලේඛ, අණ පනත් ආදී සියල්ලෙහිම සඳහන් වෙනවා. නමුත් ඇතුළත් කළ යුතු උදෘතයන් පවා නොමැතිව හදිසි අවශ්‍යතාවයක් පරිද්දෙන් තමයි මෙම ඉල්ලීම සිදුකර තිබෙන්නේ.
නීතිඥ සංජය වීරවික්රම
බරපතළ චෝදනාවක් කලා මගේ සේවා දායකයාට.සැගව සිටියා කියලා පලා ගොස් සැගව සිටියේ නැහැ.මොහු කාලය ගත කළේ නීතිඥ රොමේශ් ද සිල්වා ඇතුලු කණ්ඩායමක් සමගයි.මා සමගත් කාලය ගත කලා යැයි මෙහිදී වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටී නීතිඥ සංජය වීරවික්රම මහතා සඳහන් කළේය.
එහිදි සභාපතී ප්‍රිතී පද්මන් සූරසේන මහතා සදහන් කළේ මෙතන නැති සාක්ෂි හැදීමෙන් වළකින ලෙසයි.
(දිනමිණ)