පුවත්

දේශපාලකයනුත් 60න් යා යුතුයි – 60 පැන්න ජී.එල්.ට කියයි

Published

on

දේශපාලනඥයන් වයස අවුරුදු හැටෙන් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගොස් වැඩ කළහැකි තරුණ පිරිසට අවස්ථාව ලබාදියයුතු ගැටඹේ රාජෝපවනාරාමාධිපති රාමඤ්ඤ මහා නිකායේ අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ කීහ.

උන්වහන්සේ බැහැදැකීම සඳහා ගැටඹේ විහාරයට ඊයේ (18) පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ගිය අවස්ථාවේ අනුනාහිමියෝ මේ බව කියා සිටියහ.

මහජන සේවය යැයි බොහෝ දෙනා කරන්නේ තමන්ට සේවය කර ගැනීම පමණක් යැයි ද උන්වහන්සේ චෝදනා කළහ.

රාජ්‍ය සේවයේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු ඇතුළු වෙනත් වෘත්තිකයන් වයස අවුරුදු හැටෙන් විශ්‍රාම යන්නේ නම් සියලුම දේශපාලනඥයන්ටද එම නීතිය අනිවාර්යයෙන්ම බල පැවැත්විය යුතු බවද, හැරමිටියෙන් යනතුරු පාර්ලිමේන්තුවේ සිටීමට අවශ්‍ය නොවන බවද උන්වහන්සේ කියා සිටියහ.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අනුනාහිමියෝ මෙසේද කීහ.

‘‘අගමැතිවවරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා සියලු රාජ්‍ය සේවකයෝ වයස අවුරුදු හැටේදි විශ්‍රාම ගත යුතුයි කියලා. එහෙම කියන්නේ වයස අවුරුදු හැටෙන් පසුව මිනිසුන්ගේ ශාරීරික, මානසික, සෞඛ්‍යමය අපහසුතා මෙන්ම වෙනත් දුර්වලතා ඇති වෙන නිසා වෙන ඇති. එහෙමනම් දේශපාලනඥයෝ කොහොමද අවුරුදු හැටෙන් පස්සෙත් වැඩ කරන්නේ. ඒ අයටත් එම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ අය බේරිලා රජයේ සේවකයෝ ටික විතරක් විශ්‍රාම යවන්න කටයුතු කිරීම විශාල අසාධාරණයක් වශයෙනුයි අපි දකින්නේ. රජයේ සේවකයන්ට වැඩ කරන්න බැරිනම් දේශපාලනඥයෝ කොහොමද වැඩ කරන්නේ. මේක හරිම හාස්‍යජනක කරුණක්. බොහෝ අය වරප්‍රසාද, වරදාන නිසා පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම යන්න හිතන්නෙවත් නෑ. මේ ක්‍රමය වෙනස් කරලා තරුණ කණ්ඩායම්වලට අවස්ථාව දිය යුතුයි. වයස අවුරුදු හැට පැනපු විද්වතුන් හෝ තවත් අය ඉන්නවනම් ඒ අයගෙන් සමන්විත ස්වේච්ඡාවෙන් වැඩ කරන පාර්ලිමේන්තු උපදේශක සභාවක් පිහිටුවල එයාලගේ සේවය ලබාගන්න පුළුවන්.

ජී.එල්. පීරිස් මහතා ද මේවන විට පසුවන්නේ 76 වැනි වියෙහිය.

Trending

Exit mobile version