Connect with us

පුවත්

ධීවරයන් වෙනුවෙන් භූමිතෙල් බවුසර් 74ක් නිකුත් කරයි

Published

on

භූමිතෙල් බෙදා හැරීමේ දී පවතින ප්‍රමාදය ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය විසින් පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අද (23) දිනය තුළ භුමිතෙල් බවුසර් 74 ක් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර පෞද්ගලික අංශයේ  පිරවුම්හල් 49 ක්, සමූපකාර පිරවුම්හල 18 ක් සහ  වෙනත් පිරවුම්හල් 07 කින් ඔවුන් වෙත  අඛණ්ඩව භුමිතෙල් බෙදාහැරීම සිදු කරන බවය.

අනුමැතිය ලබා දී ඇති නමුත් මුදල් නොගෙවීම හේතුවෙන් ඊයේ (22)  දිනයේ භුමිතෙල් නිකුත් කර නැති සියලුම පිරවුම්හල් වෙත අද (23) දිනයේ දී භුමිතෙල් නිකුත් කිරීමට උපදෙස් දී ඇති බව ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

තවද මේ දක්වා භුමිතෙල් බෙදීම සිදු නොකළ සමූපකාර පිරවුම්හල් 18ක් මගින් ද භුමිතෙල් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර පළාත් සමූපකාර කොමසාරිස්වරුන් හා ලේකම්වරුන්ගේ නිර්දේශ මත අවශ්‍ය මූල්‍ය පහසුකම් සමූපකාර ග්‍රාමීය බැංකු මගින් ලබා දී ඇති බවත් ඔහු පවසයි.

ධීවර ප්‍රජාව වෙත ඉන්ධන බෙදා හැරීම පිළිබඳ අධීක්ෂණය හා මෙහෙයවීම ඊයේ (22)  සිට පළාත් ප්‍රධාන ලේකම්වරු සහ දිසාපතිවරු වෙත පවරා ඇති බවත්, ඒ අනුව  හෙට( 24)  වන විට ධීවරයින් වෙත භුමිතෙල් සැපයීම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වනු ඇති බවටත් කීර්ති තෙන්නකෝන් මහතා විශ්වාසය පළ කළේය.

වත්තල හැඳල, බේරුවල (ධිවර වරාය), හැඳළ විජේසිංහ, ගාල්ල, අහුන්ගල්ල, තංගල්ල, නොරොච්චෝල, පුත්තලම, හලාවත වැල්ල, හලාවත අලුත්වත්ත, වැල්වැටිතුරේ, පුදුකුඩුඉරිප්පු, කයිට්ස්, ගුරුනගර්, තලයාඩි, මයිලෙඩ්ඩි, කලවංචිකුඩි ඇතුළු ස්ථාන රැසකට භුමිතෙල් බවුසර් තොග 28ක් ඊයේ (22) දිනයේදී නිකුත් කර තිබුණි.

මීට අමතරව ධීවර දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ධීවර වරාය 14 ක  ද භුමිතෙල් හා ඩීසල් ඉන්ධන ධීවරයින් වෙත නිකුත් කිරීම අඛණ්ඩව සිදු කෙරේ.

එසේම ධීවරයින්ගේ අවශ්‍යතා සඳහා ඉන්ධන සැපයීමේ වගකීම නොවැම්බර් 22 වන දින සිට දකුණ, බස්නාහිර, වයඹ, උතුර සහ නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, ගම්පහ, පුත්තලම, යාපනය, මන්නාරම, කිලිනොච්චි, මුලතීව්, ත්‍රිකුණාමය, මඩකළපුව සහ අම්පාර දිසාපතිවරුන් මගින් ද, ධීවර දෙපාර්තමේන්තුව මගින් ද ධීවරයින්ගේ ඉන්ධන අවශ්‍යතා විමසා බලනු ලැබේ.

ධීවර කටයුතු සඳහා ඉන්ධන ලබා ගැනීමේ දුෂ්කරතාවක් පවතී නම් ධීවර සමිති හා ව්‍යාපාරිකයින්ට අදාළ දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා හෝ පළාත් ප්‍රධාන ලේකම්, සමූපකාර ලේකම් වෙත ඉල්ලීම් යොමු කරන ලෙස ජනාධිපති ප්‍රජා කටයුතු අංශය වැඩි දුරටත් දැනුම් දී තිබේ.

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved