පුවත්

නීතිපතිගේ පැමිණිල්ලකට සී අයි ඩී විමර්ශන

Published

on

නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ අසත්‍ය චෝදනා සංසරණය වන බවට නීතිපති පාරින්ද රණසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සමාජ මාධ්‍ය තුළ තමන්ට අසත්‍ය චෝදනා එල්ල වන බවට නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කීපදෙනෙකු නීතිපති පාරින්ද රණසිංහ මහතාට පැමිණිලි කිරීමෙන් පසුව නීතිපතිවරයා මෙලෙස විමර්ශනයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

විශේෂයෙන් උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉලක්ක කරමින් මෙලෙස සමාජ මාධ්‍ය තුළ අසත්‍ය චෝදනා සංසරණය වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

තමිල් මක්කල් විඩුතල් පුලිගල් නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී, ඔහුට ඇප ලබා දීමට සහාය දුන් බවට සමාජ මාධ්‍ය සටහනක් මගින් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට චෝදනා එල්ල කර තිබෙන බව ආරංචි මාර්ග පැවැසුවේය.

මූලික අයිතිවාසිකම් නඩුව විභාග කිරීමේදී ඇප ලබාදීමේ කාරණය සළකා බැලීමක් නොකළ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. සමාජ මාධ්‍ය තුළ එල්ල වූ තවත් චෝදනාවක් වූයේ, වැඩ තහනමට ලක් වූ පොලිස් ප්‍රධානී දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ නඩුවකදී, නීතිපතිවරයා විසින් දෙපාර්තමේන්තුව නියෝජනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු නොයවා ඒ සඳහා කනිෂ්ඨ නිලධාරියකු යවා ඇති බව යැයි ආරංචි මාර්ග පැවැසුවේය.

එම අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඒ සඳහා යොමු කිරීමට නොසිටි බැවින් ඒ සඳහා කනිෂ්ඨ නිලධාරියකු යැවීමට සිදුවූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. මේ දක්වා නීතිපති දෙපාර්තමේන්තුව 600 කට වැඩි අධි චෝදනා ප්‍රමාණයක් මහාධිකරණයේ ගොනුකර ඇති මොහොතක මෙවැනි චෝදනා සමාජ මාධ්‍ය ඔස්සේ නීතිපති දෙපාර්තමේන්තුවට එල්ල වන බව ආරංචි මාර්ග පැවැසුවේය.

(ලංකාදීප)

Trending

Exit mobile version