දූෂණ විරෝධී පනතේ විධිවිධාන ප්‍රකාරව වත්කම් හා බැරකම් ඉදිරිපත් කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලුම මහාධිකරණ විනිසුරුවරුන් වෙත දැනුම් දී තිබේ.
2025 වර්ෂයට අදාළව තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන නිලධාරීන් උදෙසා නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියකට අනුව, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්. සංජීව සෝමරත්න මහාධිකරණ විනිසුරුවන් වෙත එම දැනුම්දීම කර තිබේ.
නියමිත දින, නියමිත ආකෘති ප්‍රකාරව සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවත්, එසේ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන තැනැත්තන්ගේ නාම ලේඛනයක් අදාළ දිනට පසු දිනම ආයතන ප්‍රධානීන් අල්ලස් කොමිසම වෙත යොමු කළ යුතු බවත්, එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.
2025 ජුනි 30 දිනට වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දුන් හා නොදුන් නිලධාරීන්ගේ නම් ඇතුළත් නාමලේඛනය 2025 ජුලි 01 වැනිදා දින පස්වරු 1 ට පෙර අල්ලස් කොමිසමේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අංශය වෙත පැමිණ හෝ විද්‍යුත් තැපෑල මගින් හෝ ෆැක්ස් මගින් හෝ ලබාදීමට ආයතන ප්‍රධානියා කටයුතු කළ යුතුය යනුවෙන් ද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන් වේ.
දූෂණ විරෝධී පනත ප්‍රකාරව මහාධිකරණ විනිසුරුවරුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මගින් ද මීට ඉහත දී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබිණි.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මහාධිකරණ විනිසුරුවරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරගත යුතු තැනැත්තා වශයෙන් ජනාධිපතිවරයා සඳහන් කර ඇති බැවින් 2025 මාර්තු 31 දින වන විට සේවයේ නියුතු මහාධිකරණ විනිසුරුවරුන්ගේ, එදින වන විට පැවැති වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසමේ වෙබ් අඩවියේ දක්වා ඇති ඩිජිටල් ආකෘතිය පුරවා 2025 ජුනි 30 දින හෝ ඊට පෙර ජනාධිපති කාර්යාලය වෙත එවීමට කටයුතු කරන මෙන් මහාධිකරණ විනිසුරුවරුන් දැනුවත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී. පී. එච්. එම්. කුමාරසිංහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත අදාළ ලිපිය යොමුකර තිබිණි.