පනාගොඩ යුද හමුදා කදවුරට යාබද මුරපලකින් ටී 56 ගිනි අවිය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට හිමිනමක සහ තවත් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ගොඩගම ප්‍රදේශයේ විහාරස්ථානයක රැඳී සිටි හිමි නමක සහ පුද්ගලයෙකු බව පැවසේ.
පනාගොඩ යුද හමුදා කදවුරට යාබදව පිහිටි යුදහමුදා නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට යොදවා හිටි සෙබළුකු රවටා ඔහු සන්තකයේ තිබූ ටී 56 ගිනි අවියක්, මැගසින් 4, එහි බහා තිබූ උන්ඩ එකසිය විස්සක් සහ ආරක්ෂිත බෑගයක් ඉකුත් 3 දා රාත්‍රී සොරාගෙන ගොස් තිබුණි .
පසුව සිද්ධිය සම්බන්ධයෙන් අවට සෝදිසි කිරීමේ දී සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 100 පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක බෝක්කුවක් යට තිබී සොරාගත් උණ්ඩ 30 බහා තිබූ මැගසීනයක් පොලිසිය සොයා ගෙන තිබුණි .
එම අවස්ථාවේදී යාබද වෙළඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හඳුනාගෙන ඉදිරි විමර්ශන සදහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණි .