පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තා දෙක පිළිබඳව එම කාරක සභාවේදී (COPF) සාකච්ඡා කෙරිණි.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී – (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
ස්ථාවර නියෝග 121 ප්‍රකාරව සෑම වසරකම විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ මුදල් වෙන් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමඟ අනුකූල වන්නේද යන්න ඇතුළුව ඇස්තමේන්තු පිළිබඳ වාර්තාවක් සහ අයවැය කාරක සභා අවස්ථාව ආරම්භ කිරීමට ප්‍රථම, සමස්ත වියදම සහ ආදායම කරා එළඹීමේදී පදනම වශයෙන් භාවිතා කරන ලද බදුකරණය, මූල්‍ය සහ ආර්ථික උපකල්පන සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
ඒ අනුව මෙම වාර්තා දෙක සකස්කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණ අතර එම වාර්තා දෙක සකස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ආචාර්ය දුෂ්නි වීරකෝන්, ආචාර්ය නිෂා අරුණතිලක සහ ආචාර්ය යුතිකා ඉන්ද්‍රරත්න යන මහත්ම මහත්මීන්ගේ අදහස් ලබාගැනීමද මෙහිදී සිදු විය.
මෙම වාර්තා දෙකෙහි කෙටුම්පත් සකස්කිරීමෙන් අනතුරුව කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරුන්ගේ අදහස් ද ඇතුළත් කොට ඉදිරියේදී මෙම වාර්තා දෙක පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කාරක සභාවේ සභාපති (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම ජාතික විගණන කාරයාලය විසින් 2023 වර්ෂය සඳහා සකස් කරනු ලබන වාර්ෂික වැඩසටහන පිළිබඳව සලකා බැලීම ද මෙහිදී සිදු විය. තවද පාර්ලිමේන්තු මන්ත්‍රී – අනුප පස්කුවෙල් මහතා විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සලකා බැලීම සහ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීම සිදු විය.