පුවත්

පාර්ලිමේන්තු කථා පරිවර්තන ක්ෂේත්‍රයේ විශිෂ්ට මෙහෙවරට උපහාර ඇගයීමක්

Published

on

පාර්ලිමේන්තු කථා පරිවර්තන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට මෙහෙය උදෙසා පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධාන කථා පරිවර්තක කේ. රාහුලන් මහතාට සහ මෑත කාලීනව විශ්‍රාම ලැබූ හිටපු කතා පරිවර්තකයන් පස්දෙනෙකුට උපහාර දැක්වීමේ උළෙලක් පසුගියදා (26) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙල ව්‍යවස්ථාදායක දෙපාර්ත‍මේන්තුව යටතේ ඇති පාර්ලිමේන්තු කතා පරිවර්තන කාර්යාලය මගින් සංවිධානය කර තිබිණි.

මෙහිදී, දශක තුනකට වැඩි පාර්ලිමේන්තු සේවා කාලය තුළ ඉටුකළ විශිෂ්ට මෙහෙවර උදෙසා පාර්ලිමේන්තුවේ හිටපු ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධාන කථා පරිවර්තක එම්. කේ. රාහුලන් මහතාට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ඉහළම ගෞරව සම්මානය පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් ප්‍රදානය කිරීම සිදුවිය.

එසේම මෑත කාලීනව විශ්‍රාම ලැබූ හිටපු නියෝජ්‍ය ප්‍රධාන කථා පරිවර්තකයන් වන කේ.එම් ක්‍රිස්ටෝපර් ,අයි.ඩී.එල් රත්නසීලි සහ හිටපු ජ්‍යෙෂ්ඨ කථා පරිවර්තකයන්වන එස්. ආර්.එම් නිසාම්, එච්.වී.එස් හීන්දෙණිය සහ සුනිල් වීජේසිංහ යන මහත්ම මහත්මීන්ට මෙහිදී උපහාර තිළිණ ප්‍රදානය කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය කියා සිටියේ හිටපු ප්‍රධාන කථා පරිවර්තක කේ. රාහුලන් මහතා මෙරට පාර්ලිමේන්තු කථා පරිවර්තන ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ බවයි. එසේම අනෙකුත් උපහාරලාභීන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් දශක ගණනාවක් දැක්වූ දායකත්වය ද මහලේකම්වරියගේ විශේෂ ඇගයීමට ලක්විය.

අදහස් දැක්වූ හිටපු කථා පරිවර්තකයන් සිය පාර්ලිමේන්තු රාජකාරී ජීවිතයේ සොදුරු මෙන්ම අභියෝගාත්මක අත්දැකීම් සිහිපත් කළහ.

පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා ) අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා, පාර්ලිමේන්තුවේ ප්‍රධාන කථා පරිවර්තක සී.ජේ කරුණාරත්න යන මහත්වරුන්ද දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Trending

Exit mobile version