පුවත්

පාසැල් සිසුන් වෙනුවෙන් ගත් කැබිනට් තීරණ

Published

on

පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් මිලදී ගැනීමට රුපියල් 3,000ක් බැගින් තිළිණ පතක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහාය.

එමෙන්ම පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන 2025 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ වනවිට සියලුම රජයේ පාසල් වල 1-5 ශ්‍රේණිවල සිසුන්, ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට අඩු පාසල් වල සියලුම සිසුන්, විශේෂ අධ්‍යාපන ඒකක හෝ පාසල්වල සිසුන් සහ තෝරාගත් පිරිවෙන්වල ගිහි සිසුන් ඇතුළු සමස්ත සිසුන් මිලියන 1.4ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100ට අයත් පාසල් 8,956ක “පාසල් ආහාර වැඩසටහන” ක්‍රියාත්මක කරනු ලබයි.

එම වැඩසටහන වඩාත් සැලසුම් සහගතව 2025 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත්, වාර්ෂිකව මුළු ශිෂ්‍ය සංඛ්‍යාව මිලියන 1.5 ක උපරිමයට යටත්ව ප්‍රතිලාභ සලසා දීමට හැකි වන පරිදි අයවැය ප්‍රතිපාදන සලසා ගැනීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Trending

Exit mobile version