පුවත්

පුද්ගලික ආයතනයකින් විනිසුරුවෝ රක්ෂණය කරන්න යයි

Published

on

සියලුම අධිකරණ විනිසුරුවරුන් සඳහා විශේෂ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් රජය හඳුන්වා දී තිබේ.

මෙම මස 17 වැනිදා සිට ක්‍රියාත්මක නව රක්ෂණාවරණය අවශ්‍ය නම් ඒ සඳහා ලියාපදිංචිවන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලුම මහාධිකරණ විනිසුරුවරුන්, සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන්, කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 

අධිකරණ විනිසුරුවරුන් 350 කට අධික පිරිසකට මෙම නව සෞඛ්‍ය රක්ෂණාවරණය හිමිවීමට නියමිත බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරයි.

සියලුම අධිකරණ විනිසුරුවරුන් සඳහා 2025 ජුනි 17 වැනිදා සිට 2026 ජුනි 16 දක්වා බාහිර සෞඛ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් 35,000 ක උපරිමයකට යටත්ව රුපියල් ලක්ෂ 05 ක වටිනාකමින් යුත් මෙම සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය පෞද්ගලික රක්ෂණ සමාගමක් හරහා ක්‍රියාත්මක කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය මාධ්‍යට පවසා තිබේ. 

මෙම රක්ෂණ ක්‍රමය සඳහා දායකවන විනිසුරුවරයා වෙනුවෙන් පමණක් ගෙවිය යුතු මුදලින් 75% ක මුදලක් රජය ගෙවන බවත්, රක්ෂණය සඳහා ලියාපදිංචි වූ සෑම විනිසුරුවරයකුම පළමු වාරිකය 2025 ජුනි මස වැටුපෙන් රක්ෂණ ආයතනය වෙත යොමු කළ යුතු බවත්, ඉන්පසු සාමාජික කාඩ්පත නිකුත් කිරීමට නියමිත බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම රක්ෂණ ක්‍රමය සඳහා විනිසුරුවරුන්ට සිය කාලත්‍රයා සහ දරුවන් ද දායක කරගත හැකි බවත්, ඒ සඳහා විනිසුරුවරුන් විසින් දැරීමට නියමිත වාරික මුදල 04 කින් ගෙවී​මේ හැකියාව පවතින බවද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version