පුවත්

පෙරට්ටුවේදී ඩෑන් ඝාතනයේ සැකකරුවන් හඳුනාගනී

Published

on

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතාගේ නියෝගයකට අනුවය.

එහිදී සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගත් බව අධිකරණයට දැනුම් දී ඇත.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය වැරදි පාරක යන බව සඳහන් කර සිටියේය.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාම මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් නියම වෙඩික්කරුවන් නිදැල්ලේ සිටින බවත් ඔහු පැවසීය.

මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් දෙදෙනෙකු දෙවන සැකකරුගේ ඥාතීන් බව සඳහන් කළ නීතිඥවරයා සැකකරුවෝ හොඳින් හඳුනන ඥාතීන් දෙදෙනෙකු ඔහු හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බවත් සඳහන් කරන ලදී.

සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සහ CCTV දර්ශනවලින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියා අධිකරණය හමුව සඳහන් කලේය.

සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර අදාළ සැකකරුවන් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම විය.

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් ඉකුත් අප්‍රේල් (23) මියගියේය.

වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය විසින් පැවසීය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් විය.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය විය.

Trending

Exit mobile version