Connect with us

පුවත්

බංග්ල‍ාදේශ මැතිවරණයේ ජය හසීනාට

Published

on

විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිව තිබේ. 

අගමැතිනී සීක් හසීනාට ජය හිමිවූයේ පිටපිට සිවුවැනි වරටය.

බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 350 කි. 

එයින් ආසන 50 ක් කාන්තා නියෝජිතයන් සඳහා වෙන් කර තිබේ. 

ඊයේ (07) පැවැත්වුණු මහ මැතිවරණයට, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 120 ක් සුදුසුකම් ලබා සිටි අතර, ඔවුන්ගෙන් හරි අඩක් කාන්තාවන් බව බංග්ලාදේශ මැතිවරණ කොමිසම පවසා තිබුණි.

ඊයේ (07) පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ආසන 152 කට වඩා දිනා ගැනීමට අවාමි ලීගය පක්ෂය සහ ඊට හිතවත් දේශපාලන පක්ෂ සමත් වී සිටියේය. 

ඒ අනුව, 2009 වසරේ සිට බලයේ සිටින 76 හැවිරිදි සීක් හසීනා තවත් වසර පහක්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හිමිව ඇත.

බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ බංග්ලාදේශ ජාතික පක්ෂයයි. 

බංග්ලාදේශ ජාතික පක්ෂය සහ ඊට හිතවත් විපක්ෂ දේශපාලන පක්ෂ මැතිවරණය වර්ජනය කළේ සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දෙමිනි.

මැතිවරණයට පෙර, මාස ගණණාවක් තිස්සේ, බංග්ලාදේශයේ ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්විණි. 

ඒ, සීක් හසීනා ධුරයෙන් ඉවත් වී, රජය විසුරුවා, භාරකාර රජයකට බලය පවරා දී, එම භාරකාර රජය යටතේ මහ මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමිනි. 

කෙසේ නමුත් සීක් හසීනා ඊට අකමැති වූවාය. 

විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු 10,000 කට වැඩි විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණි.

බංග්ලාදේශ දේශපාලනයේ ප්‍රබල කාන්තාවෝ දෙදෙනෙකි. සීක් හසීනා සහ කලීඩා ෂියා යනු ඔවුන් දෙදෙනාය. 

1991 සිට 1996 දක්වාත්, 2001 සිට 2006 දක්වාත් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ කලීඩා ෂියා ය.

ඇය බංග්ලාදේශයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරියයි. 

සීක් හසීනා, බංග්ලාදේශයේ නිර්මාතෘ මෙන්ම, එරට පළමු ජනාධිපතිවරයා ද වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දියණියයි.

විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළේ කලීඩා ෂියාය. 

2018 පෙබරවාරි 8 වැනිදා දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන්, කලීඩා ෂියාට වසර 5 ක සිර දඩුවම් නියම විය. 

පසුව එය වසර 10 ක් දක්වා දීර්ඝ කෙරුණි. මේ වනවිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන කලීඩා ෂියා නිවාස අඩස්සියේ පසුවෙයි.

කලීඩා ෂියාගේ අනුප්‍රාප්තිකයා ලෙස පක්ෂයේ නායකත්වය බාර ගත් ඇගේ පුතා ටරීක් රෙහ්මාන්ට අපරාධ චෝදනා එල්ල විය. 

ඔහු අද ජීවත් වන්නේ බංග්ලාදේශයෙන් පිටුවහල් වී ලන්ඩන් නුවරය.

ඊයේ (7) මැතිවරණ කටයුතු ආරම්භ වීමටත් පෙර සිටම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විය. 

විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කළ කලහකාරී පිරිස් මගී දුම්රියකට පහර දී ඊට ගිනි තැබූහ. 

එයින් දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පාසල් සහ බෞද්ධ පන්සල්වල පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථාන කීපයකට කලහකාරී පිරිස් කඩා වැදී පහර දුන් බව ද වාර්තා විය. 

පොලිසියේත්, හමුදාවේත්, ලක්ෂ අටක පිරිසක්, මැතිවරණයේ ආරක්ෂාවට යොදවා තිබුණි.

(ඒ.එෆ්.පී.)

පුවත්

ප්‍රසන්න රිමාන්ඩ් (UPDATE)

Published

on

By

අධිකරණයට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ


(පෙර පුවත 2025 මැයි 07 පෙ.ව.10.34 )

ප්‍රසන්න රණවීර අධිකරණයට භාර වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකය.

මෙම සිද්ධියට අදාලව හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

Continue Reading

පුවත්

අභියෝගාත්මක වගකීම ඉටු කරන්න විපක්ෂනායක ලෑස්තියි

Published

on

By

2025 පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ විපක්ෂය එකට එක්වී කටයුතු කරන ලෙසට ජනතාව පණිවුඩයක් දී ඇති බව යැයි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජනතාව ලබා දුන් එම පණිවුඩය අනුව ක්‍රියාකිරීමට තමන් ඇතුළු පක්ෂය සූදානම් බවය.

“රටේ ජනතාව අපිට ලබාදීලා තියෙන පණිවිඩය තමා, විපක්ෂයේ සියලුදෙනා එකට එකතු කරගනිමින් රටේ ජනතාව අනුමත කරා බොරුව පරාජය කරමින්, සත්‍යවාදී, ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලු බලවේග එකතු විය යුතු යැයි කියන ජනමතය තුළ ඒ අභියෝගාත්මක වගකීම ඉටුකරන්න අපි සුදානම්. ඊට නායකත්වය ලබාදීමට අපි සුදානම්. ජනමතයට හිස නමා විපක්ෂයේ සියලුමදෙනා එකට එකතු කරගෙන ජනතාව බලාපොරොත්තු වෙන ජනතා සේවාවක්, ප්‍රතිපත්ති ගරුකව මේ ඇති වෙන එකමුතුභාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉටුකිරීම අපේ අරමුණයි. ඊට නායකත්වය ලබාදෙන්න අපි සුදානම්.”

Continue Reading

පුවත්

මං කියපු දේ කළා නම් විපක්ෂයට දිනන්න තිබුණා

Published

on

By

තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන පනහකට සීයකට පමණ තරඟ කළා නම් එම සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගණනක් ගන්නට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

විශේෂයෙන් කොළඹට පමණක්වත් එවැනි දෙයක් කරන්නට තිබු බව කී රනිල් වික්‍රමසිංහ මහතා තමා කී පරිදි විපක්ෂය එකතු නොවූ නිසා ජනතාව දෙපැත්තකට ටොකු ඇන්න බව පැවසීය.

කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“අවුරුදු පහකට පසුව අප අලියා ලකුණ යටතේ තරඟ කළා.මෙය යම් ඇරැඹුමක් ලෙස සැලකිය හැකියි.සමහර ප්‍රදේශ වල අපේ ප්‍රතිඵල හොඳයි. සෑහීමකට පත්විය හැකියි.දැන් අලුතින් එක්සත් ජාතික පක්ෂය වැඩ කළ යුතුව තිබෙනවා. දැන් විපක්ෂය එකතු වී ජනතාවට යම් වැඩපිළිවෙළක් හඳුන්වා දිය යුතුයි.

මා මැතිවරණ ප්‍රචාරක වැඩවලට සහභාගී වූයේත් නැහැ. තරුණ නායකයන්ට මෙය කරගෙන යන්න බාර දුන්නා. මෙය යම් පරීක්ෂණයක්.හොඳ තැන් මෙන්ම අසාර්ථක තැන්ද තිබෙනවා.අප දැනට තිබෙන ශක්තියෙන් ඉදිරියට යන්නේ කෙසේදැයි සිතිය යුතුයි.

අලියා ලකුණින් ඉදිරිපත් වූ විට ජනතාව ඡන්දය දෙන්නට එන බව සමහරුන් කිව්වා.අලියාගෙන් ඉදිරිපත් වූවා කියා පමණක් ඡන්දය දාන්නට එන්නේ නැති බව දැන් පෙනෙන්නට තිබෙනවා. දැන් පක්ෂයේ අලුත් අය හඳුන්වා දිය යුතුයි. මේ පක්ෂය ගොඩනැගිය යුත්තේ අවුරුදු පනහේ- හතළිහේ අයයි.මෙතනින් පසු තරුණ පරපුර වගකීම් බාරගෙන ඉදිරියට යා යුතුයි. සජබෙටත් ගියපාර ලැබුන ඡන්ද ලැබුණේ නැහැ.”

මූලාශය  – ලංකාදීප

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved